‘ප්‍රේමානිශංස’ ආනිශංසය විඳගත හැකි පරම්පරාවක් තනමු !

‘ප්‍රේමානිශංස’ ආනිශංසය විඳගත හැකි පරම්පරාවක් තනමු !

සංචාරය ප්‍රඥාව අවදි කරන්නක් ද? ඒ පැනයට පිළිතුර කුමක් වුව ද, ආදී මේ ශාස්තෘවරුන්ගේ ජීවිත දෙස බැලීමේ දී මේ සියලු දෙනාටම සංචාරය පොදු බව පෙනී යයි. අප්‍රිකාවෙන් පිට වූ මිනිසා අරාබිය හරහා පැමිණ යුරෝපයටත්, ආසියාවටත් ගමන් කළ අතර, ඇමෙරිකානු මහාද්වීප දක්වා ව්‍යාප්ත වූ බවට මතයක් තිබේ. පෘථිවිය මහාද්වීප ලෙස වෙන් වී ගිය පසු ඔවුන් එකිනෙකාට ආගන්තුක ජීවීන් බවට සමහර විටක පත්වන්නට ඇත. කෙසේ වුව ද, අතීත මිනිසා තැනින් තැනට සංචාරය කරමින් සිය ප්‍රජාව මෙන්ම දැනුම ද වර්ධනය කර ගත් බවට සාධක බොහොමයක් ඉතිහාසයෙන් අපට සොයා ගත හැකි ය. බොහෝ විට වානරයාගෙන් මිනිසා වෙන් වන්නට ඇති ප්‍රධාන හේතුව මෙයම වන්නට ඇත. මිනිසා කඳු, හෙල් ආදිය පසුකරමින් කරන ලද සංචාරයේ දී නව දැනුම, ප්‍රඥාව උපදවා ගන්නට ඇතැයි සිතිය හැකි ය.
සංචාර වීර ආඛ්‍යානය
කෙසේ වුව ද, අතීත කතා සැලැකීමේ දී රාමායනය, මහා භාරතය, ඔඩිසි වැනි වීර කාව්‍ය පදනම් වී ඇත්තේ සංචාරය මත ය. සංචාරයේ දී හමු වන නව අභියෝග, නවමු අත්දැකීම් හරහා මිනිසා ජීවිතය පිළිබඳ නවමු පාඩම් ඉගෙන ගන්නා බැව් සිතන්නට පුළුවන. ඒ අතීතයට පසුව වස්කෝ ද ගාමා, ටොලමි, ඉබන් බතූතා වැනි දේශ ගවේෂකයෝ එම සංචාරවල නිරතවූවෝ ය. කෙසේ වුව ද මේ සියල්ලන්ම ආපසු යාම ඉලක්ක කරමින් සංචාරයට පිවිසියවුන් නොවේ. ඔවුන්ගේ ජීවිතයම සංචාරයකි. ඔවුන් ආපසු යාම ගැන සිතනවාට වඩා සංචාරයෙහි යෙදීම ගැනම අවදි වූ සිත් ඇත්තෝ ය. නෝමෑඩ්වරුන් ය. පාවුලෝ කොඑලෝගේ ‘අල්කෙමිස්ට්’ නම් ජනප්‍රිය කෘතිය තවත් එවැනි සංචාරය තුළින් ප්‍රඥාව අවදි කරවන්නා වූ චරිතයක් ජීවමාන කළ නවකතාවකි.
සංචාරය නපුරෙන් ගැලවීමට මඟක් බව විශ්වාස කළ පැරන්නෝ සිටියහ. ‘බේගුනි’ නම් එක්තරා පෝලන්ත ජන කණ්ඩායමක විශ්වාසය වන්නේ නපුරෙන් ගැලවීමට නම් නිරන්තර චලනයේ යෙදිය යුතු බව ය. ඇමෙරිකාවෙන් බිහි වන හිපි සංස්කෘතිය ද සංචාරය මත විශ්වාසය තැබූ තවත් එක් කණ්ඩායමකි. ’70 ගණන්වල  දී මධ්‍යම පාන්තික ජීවන තත්ත්වයෙන් හුදෙකලා වන ලක්ෂයකට අධික තරුණ පිරිසක් මෙලෙස ඇමෙරිකාවෙන් පිටව යුරෝපය, ඉරානය ආදී රටවල සංචාරය කර තිබේ. ඔවුන් අතර මරිජුවානා සහ එල්.එස්.ඩී. නම් මත්ද්‍රව්‍ය ජනප්‍රියව පැවැතිණි. ආධ්‍යාත්මික ජීවිතයක් ළඟා කරගැනීම සඳහා ඒවා ඉවහල් වන බැව් ඔවුහු විශ්වාස කළහ. යුද්ධය හෝ ප්‍රචණ්ඩත්වය වෙනුවට ආදරය බෙදාහැරීම ඔවුන්ගේ මූලික අපේක්ෂාවකි.
මෙකී කාරණා සියල්ල යළිත් මතකයට නැඟෙන්නේ චන්ද්‍රරත්න බණ්ඩාරයන්ගේ ‘ප්‍රේමානිශංස’ නවකතාව කියැ වූ පසුව ය. ‘ප්‍රේමානිශංස’ නවකතාවේ එන සයුරු, සිය පරම්පරාගත ධනය තුළ සිරගත වූ ජීවිතයක් ගෙවන්නෙකි. බොහෝ විට අප මේ ලෝකයට උපදින විටම අපේ ආගම, ජාතිය, කුලය, සමාජ තත්ත්වය නිර්මාණය වී අවසන් ය. අප එයට කැමැති වුව ද, අකැමැති වුව ද ඉන් පසු එයින් මිදීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වෙයි. එහෙත්, එවැනි මිදීමක් ගැන සිතන්නේ සුළුතරයකි. ධනවතුන් බොහෝ විට එම සමාජ තත්ත්වයෙන් තමන්ට දැනෙන ආරක්ෂිත බව අතහැරලන්නේ නැත. සයුරු ද එය හැර යන්නේ කාන්තාවක නිසාවෙන් ය. ඔහුගේ ජීවිතයට බලපාන කාන්තා චරිතය, කුමාරස්වාමි පරපුරේ මිනිබිරියකි. ඇය ශ්‍යාම් (නිරූ) කුමාරස්වාමි ය.
නිරූ නූතනත්වයේ ලිබරල් කාන්තා චරිතයක් ලෙස කෘතිය පුරාම හැඟවෙයි. ජාත්‍යාලයෙන් පෙළෙන සිංහල ජාතිකවාදී ඉහළ මධ්‍යම පාන්තික පරම්පරාවකින් එන – සියවස් දෙක තුනක් පුරා අරක්කු, මිනිරන් ආදී වෙළඳාම්වලින් ධනය උපයා ගත් – සයුරු නම් තරුණයාට හමු වන නිරූ ඔහුගේ ප්‍රඥාවේ උල්පත බව අපට හැඟී යයි. ඇය නියෝජනය කරන්නේ ශ්‍රීමත් මුතු කුමාරස්වාමි, ආනන්ද කුමාරස්වාමි නම් දැවැන්ත චරිතවල නූතන අදියරයි.
බත්තලංගුණ්ඩුව ගැන කෙරුණ සංවාදයක දී තරුරසී ප්‍රනාන්දු ලේඛිකාවගෙන් නැඟුණු එක් පැනයක් තිබේ. අධ්‍යාත්මය හෝ ප්‍රඥාව සොයා සංචාරයේ නියැළීම උරුම පිරිමින්ට පමණක් ද යන්නයි ඒ. ඉහත කී රාමායනය, මහා භාරතය, ඔඩිසි වැනි කෘති සලකා බලද්දී, ඒ සියල්ලේම ප්‍රධාන චරිතය පිරිමි ය. ස්ත්‍රියට එවැනි සංචාරයක් අකැප ද? අපේ කෘතිවල එවැනි ගැහැනුන් නැත්තේ ඇයි ? යථාර්ථය එයමයි කියා ප්‍රබන්ධකරුවාට දෑත් පිසදා ගත හැකි ද? මෙවැනි ප්‍රශ්න රාශියක් අතරේ දී ‘ප්‍රේමානිශංස’හි දී එවැනි සංචාරයේ යෙදෙන නිදහස් ගැහැනුන් දෙදෙනෙකුම හමු වීම ප්‍රීතියකි. ඒ නිරූ හා සොෆියා ය. කතුවරයා සූක්ෂ්ම ලෙස මේ චරිත අපට සමීප කරන්නට සමත්ව ඇත.
ස්ත්‍රී චරිත නිරූපණය
නවකතාව තුළ ප්‍රධාන වශයෙන් විද්‍යමාන වන කාන්තා චරිත හතරකි. ඉන් නවකතාවේ ප්‍රධාන චරිතය වන නිරූ කුමාරස්වාමි ඉහත කී ලෙසම සිය පරම්පරාවෙන් ලැබුණ ලිබරල් ජීවන රටාවේම නව දිගුවක් ලෙස දැකිය හැකි ය. අනු චරිතයක් වන සොෆියා නියෝජනය කරන්නේ, බටහිර ගැති ලිබරල් ජීවිතය ඔස්සේ නව මානයක් සොයා එන පිරිස ය. සයුරුගේ මව සාම්ප්‍රදායික කුල කාන්තාවකගේ චරිතය නියෝජනය කරන තැනැත්තියකි. සිය සැමියාගේ අකටයුතුකම්වලින් පෙළෙන ඇය පෙන්වන ඉවසීම සාම්ප්‍රදායික ආසියාතික ගැහැනිය නියෝජනය කරයි. එහෙත්, කතාවේ එක් තීරණාත්මක මොහොතක දී ඇය සිය පොළාපැනීම කරන්නේ ඒ කුල කාන්තාවක ලෙස ජීවත් වීම කරණකොට ගෙන ඇය වෙත ආරෝපණය වූ බලයෙනි. සිව්වැනි චරිතය ඉතා අඩුවෙන් අවධානයට ලක් වන නිරූගේ මව ය. නිරූගේ ලිබරල් ජීවිතයේ පහන් ටැඹ ඇයගේ මව බව කෘතියේ අවසානයට යන විට අපට වැටහේ. මෙම කාන්තාවෝ දෙදෙනාම තමන්ගේ සංචාරය තුළ යෙදෙන්නියෝ ය.
සමස්තයක් ලෙස මෙම චරිත හතරම පවතින සම්මත සමාජ න්‍යායන්ට අභියෝග කරන චරිත වේ. මෑතකාලීන සිංහල නවකතාව තුළ ස්ත්‍රිය වඩාත් නිදහස්කාමී අයුරකින් ඉදිරිපත් කෙරුණු කෘතියක් ලෙස ‘ප්‍රේමානිශංස’ දැක්විය හැකි ය. මෙය වඩාත් ප්‍රබල වන්නේ මෙම කතාවේ කථකයා වන සයුරුට මාර්ගය පෙන්වන චරිතය බවට නිරූ පත්වීම ය. සමස්ත කතාව තුළම නිරූ සිටින්නේ සයුරුට වඩා ඉහළිනි. සයුරුගේ වීරවරිය නිරූ ය. කාන්තා චරිතයක් හොඳින් නිර්මාණය කරන්නට නම්, එම චරිතය කතාවෙහි දිශානතිය වෙනස් කරන්න බලපෑම් කළ යුතු බව විචාරක මතයයි. විශේෂයෙන්ම මාග්‍රට් ඇට්වුඩ් ගේ ‘ද ඉයර් ඔෆ් ද ෆ්ලඩ්’ (The Year of the Flood) වැනි නවකතාවක කේන්ද්‍රීය චරිත ද්විත්වය දෙස බැලීමේ දී මේ කතාව මැනැවින් වැටහෙයි. පුරුෂ මූලික සමාජයකට සාහිත්‍යය තුළින් අභියෝග කළ හැක්කේ එවැනි ක්‍රමයකිනි. සාමාන්‍යයෙන් ලාංකීය සමාජය තුළ තම සහකාරිය තමාට වඩා ප්‍රබල වනවාට කැමැති පිරිමි දුලබ ය. බොහෝ විට අතීත පඬි වදන්වල කියැවෙන්නේ විවාහයක් සාර්ථක වීමට නම්, ස්ත්‍රිය සෑම අතින්ම පිරිමියාට වඩා පහළ මට්ටමකින් සිටිය යුතු බව ය. ඒ සියලු කාරණාවලට අභියෝග කිරීමට කතුවරයා සමත්ව ඇත. එය නවකතාවේ සාධනීය ලක්ෂණයකි.
අනන්‍යතා අර්බුද
කතාවේ මුල් භාගයේ දී නිරූ සහ සයුරු අතර පවතින පරම්පරා වෙනස – නිරූ ශිෂ්ටසම්පන්න, රාජකීය පරම්පරාවකින් පැවත ඒමත්, සයුරු, අරක්කු විකුණමින්, විවිධ තාලයේ අකටයුතුකම්, මැරකම් කරමින් ධනය උපයා ගත් පරම්පරාවකින් පැවැත ඒමත් – මැනැවින් විදහාපායි. කෙසේ වුව ද, සයුරු වැනි ඉහළ මධ්‍යම පාන්තික පවුල්වල උපදින බොහෝ දරුවන්ට අත් වන්නේ තමා කැමැති දෙය කිරීම වෙනුවට තමාට උපතින්ම නියම කර දී ඇති දිවිපෙවෙත ගත කිරීම ය. ශ්‍යාම් යන දමිළ නම නිරූ බවට සයුරු හැරවීම තුළ ඔහුට ඇයගේ දෙමළකම ආරම්භයේ දී ගැටලුවක් වූ බව පෙන්වීමකි. නවකතාව ආරම්භයේ දීම කථකයා පවසන්නේ, – “ශ්‍යාම් කුමාරස්වාමි යනු මවිසින් මගේ කර ගැනීම සඳහා නැවත නාමගැන්වුණු නිරූ ය.”- යනුවෙනි.
සයුරුට ද සිය පරම්පරාව වෙනුවෙන් තැන වූ විහාරයක නිලමේ කෙනකු වන්නට සිදු වෙයි. එය නිරූ සහ ඔහු විසින් ගොඩනඟමින් සිටිනු ලබන දිවියට කිසිසේත්ම ගැළපෙන්නක් නොවේ. මෙම අනන්‍යතා අර්බුදය සයුරුගේ චරිතය පුරාම විද්‍යමාන වෙයි. තමා කවු ද? කළ යුත්තේ කුමක් ද? ගැන නිසි වැටහීමක් නොමැති අනන්‍යතා අර්බුදයෙන් ඇති වන්නේ දැවැන්ත හිස්කමකි. එය පුපුරා යන්නේ සයුරුගේ පියා සමඟ සිදු වන බහින්බස් වීමකින් පසු නිරූ අතුරුදන් වීමත් සමඟ ය. අවසානයේ සයුරු සියල්ල හැර දා නිරූ සොයා යමින් ලෝකයේ පියස්ස වෙත අරඹන සංචාරය ඔහුට තමාව සොයා ගැනීමට ඉවහල් වෙයි.
පරම්පරා ඛණ්ඩනය සහ පරම්පරා විඥානය
නවකතාවේ ප්‍රධාන පරම්පරා ද්විත්වයක් දැකිය හැකි ය. ශ්‍යාම් හෙවත් නිරූ පැවත එන කුමාරස්වාමි පරම්පරාව එකකි. සයුරු පැවත එන විලමුලගේ පරම්පරාව එකකි. යාපනයේ සංකිලි රජ පෙළපතට නෑකම් කියන මුතු කුමාරස්වාමි එංගලන්තයට ගොස් බටහිර යුවතියක සමඟ විවාහ වී බිහි කරන දරුවා ආනන්ද කුමාරස්වාමි ය. මුතු කුමාරස්වාමි නයිට් පදවිය ලත් පළමු ශ්‍රී ලාංකිකයා ය. ආනන්ද කුමාරස්වාමි ලෝකයම හඳුනන විද්වතෙකි. නිරූගේ මේ පරම්පරාව ඇයට ආරෝපණය කරන බලය තුළින් ඇය නිදහස්කාමී තරුණියක බවට පත් වෙයි. එයට ප්‍රතිවිරුද්ධව සයුරුගේ පරම්පරාව දුප්පතුන්ව සිට පසුව අරක්කු රේන්දය හරහා පැමිණ මිනිරන් ව්‍යාපාරය හරහා ධනය වර්ධනය කර ගත් පරම්පරාවකි. ඔවුන් විද්වතුන්ගේ පරම්පරාවක් නොව, සේරිවාණිජ පරම්පරාවකි.
සයුරුට තම පරම්පරාව පිළිබඳ අර්බුදය යම් පමණකට තිබුණ ද, නිරූගේ හමු වීමත් සමඟ එය වර්ධනය වන බව පෙනෙයි. සයුරු නම් සාම්ප්‍රදායික තරුණයා වෙනස් වන්නට පටන් ගන්නේ නිරූගේ ආශ්‍රයෙනි. එකිනෙකට වියුක්තව ආ පරම්පරා දෙකක් එකවර එකම ඛණ්ඩාංක තලයක හමු වී, එකිනෙක ඡේදනය වන්නේ කතාවේ උච්චතම ස්ථානයට හෙවත් කූටප්‍රාප්තියට (Climax) පාඨකයා රැගෙන යමිනි. සයුරුගේ පියාට නිරූගේ ජාතිය පිළිබඳව ගැටලු‍වක් තිබුණ ද, කුමාරස්වාමි පරපුරේ දිස්නය ඉදිරියේ දී ඔහු තුළ ඇති වන්නේ යම් පක්ෂපාතකමකි. එහෙත්, තම පුත්‍රයා නිරූගේ මාර්ගයේ ගමන් ගන්නා විට සාම්ප්‍රදායික පියා මතු වෙයි. විවිධ ව්‍යාපාරවලින් ධනය උපයාගෙන ඉහළ මධ්‍යම පන්තියට ඇතුළු වන බොහෝ නූතන පරම්පරා තුළ මතු වන හීනමානය සයුරුගේ පරම්පරාවට ද තිබේ. ‘පදුමාරාමය’ නමින් විහාරයක් තනවා එහි බස්නායක නිලමේ තනතුරු දරන්නට උත්සාහ කරන එකී පරම්පරාව තුළින් පෙනී යන්නේ එයයි.
විශේෂයෙන් මෙවැනි නූතන ධනවතුන් පන්සල්වලට ළං වන්නේ ඒවා හරහා තමන්ගේ හීනමානය වසා ගැනීමට ය. ඒ සඳහා ඔවුන් සිය ධනස්කන්ධය පන්සල් මත වියදම් කරමින් සමාජ බලය, තත්ත්වය ආරෝපණය කර ගනී. මෙයින් අගතියට පත් වන්නේ මෙම ධනයෙන් ඔදවැඩෙන බෞද්ධ භික්ෂූන් ය. වර්තමානයේ බෙන්ස්, ප්‍රාඩෝ පූජා කරන බැතිමතුන්ගෙන් එය පැහැදිලිව විද්‍යමාන වේ. මිනිසුන් උදෙසා සේවය කරනු වෙනුවට එම භික්ෂූන් ඉන් පසුව සේවය කරන්නේ ඉහත කී ධනවතුන්ට ය. ඒ හැරෙන්නට ඔවුන් අනුගමනය කරන බෞද්ධ දර්ශනයක් නොමැත. කතුවරයා නවකතාව තුළ මෙය සියුම්ව සටහන් කරනු ලබයි. එමෙන්ම කතුවරයා තන්ත්‍රයානයට හා මහායානයට වැඩි නැඹුරුවක් දක්වයි. කතාවේ ආරම්භක වාක්‍යයේ එන අවලෝකිතේශ්වර බෝධිසත්ව පිළිමය ඒ ගැන අපට ඉඟි කරයි.
අනෙක් අතට නිරූ නම් නාගරික දමිළ තරුණිය සිය වරිග ප්‍රජාව යුද්ධයේ දී අත්විඳි දුක වටහා ගන්නේ යාපනයට යන ගමනිනි. මෙතෙක් කලක් එම වේදනාවලට එතරම් දැඩි ලෙස සංවේදී නොවීමේ ඇයගේ හෘදය සාක්ෂිය ඇයගේ හැරයාම තුළ පැවැති බවක් දැනේ. එම සාමුහික වේදනාව සහ සිය සීයාගේ නිවසේ දී ඇති වන අසාමාන්‍ය හැඟීම තුළින් නිරූ සහ සයුරු අතර ඇති වන අනපේක්ෂිත ලිංගික හැසිරීම නවකතාවේ තීරණාත්මක සාධකයක් බවට පත් වෙයි. එයින් මෝදු වන කළලය දරාගෙන එන්නේ පරම්පරා උරුමය සහ උතුරේ ජනතාවගේ සාමුහික වේදනාවේ විඥානයයි. දරුවාගේ අහිමි වීම සංකේතවත් කරන්නේ, එවැන්නක් දරා ගත නොහැකි මහා සමාජයක ඛේදවාචකය ද? ප්‍රේමානිශංසය ලැබිය හැකි පරම්පරාවක් බිහි කර ගැනීමේ දුෂ්කරතාව ද?.

 
සංචාරක ආධ්‍යාත්මික ආඛ්‍යානය
සංචාරක වීර කාව්‍යයක් ලෙස නොව මෙම නවකතාව සංචාරක ආධ්‍යාත්මික ආඛ්‍යානයක් ලෙස හැඳින්වීම සුදුසු යැයි මට සිතේ. කෘතිය තුළ සංචාරයෙහි අවධි දෙකක් ඇත. කෘතියේ මුල් භාගයේ දී නිරූ හා සයුරු එක්ව කරන සංචාර තුළ ඔවුන්ගේ බැඳීම වැඩි කරන, සුන්දරත්වය විඳින, අධ්‍යාපනය ලබන ඒවා ය.
එහෙත්, කෘතියේ දෙවන භාගයේ දී නිරූ මෙන්ම සයුරු කරන සංචාර ඔවුන්ගේ අධ්‍යාත්මය පොහොසත් කරන විදියේ එකකි. අවසානයේ දී එම ඛේදජනක අත්දැකීම – නිරූ, සයුරු පමණක් නොව සොෆියා පවා – ඔවුන් දරා ගන්නා ආකාරය තුළ එය ගැබ්ව තිබේ. ආදරයේ ඊර්ෂ්‍යාව, ලිංගික ඊර්ෂ්‍යාව යන මේ සියල්ල බැහැර කරන්නට සයුරුට සොෆියා හරහා ලැබෙන පන්නරය මෙන්ම, කෙවින් වැනි සංක්‍රාන්ති ලිංගික චරිතයකින් ලැබෙන අත්දැකීම් ඉවහල් වෙයි. විශ්වීය මිනිසෙක් බිහි වීමට නම් මෙකී කාරණා වැදගත් වේ.
අවසානය
සමස්තයක් ලෙස නවකතාව තුළ භාෂාව කාව්‍යමය බවක් ගනී. බොහෝ ස්ථාන විස්තර කිරීමේ දී පාඨකයාගේ මනසෙහි ඒවා ගැඹුරින් තැන්පත් වන ආකාරයකට ලිවීමට කතුවරයා සමත්කම් දක්වයි. ධර්මශාලා හි සිට තිබ්බතයේ ලාසා දක්වා යන ගමන සිංහල පාඨකයකුට ඉතා මනරම් අත්දැකීමකි. ඒ දර්ශන සිතේ මවාගෙන, ඒ සීතල හැඟීම විඳිමින් කියැවිය හැකි බසකින් කෘතිය නිමවා ඇත. කෙසේ වුව ද, දේශපාලනික සිද්ධි, ආගමික සිද්ධි මතු කර ලිවීමේ දී කතුවරයා තවත් ප්‍රබන්ධය ගැන සැලැකිලිමත් වූයේ නම් මැනැවයි සිතේ. නවකතාවේ ආකෘතිය ද සංචාරයකි. පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට භගවත් ගීතාවේ හෝ සුෆී දහමේ හෝ වෙනත් වැකියක් හරහා පාඨකයාව වෙනම සංචාරයකට රැගෙන යන අතර, එම වැකි පරිච්ඡේදය සමඟ ගැටගසා ගන්නේ නම්, පාඨකයාට ආනන්දය ළඟා කර ගත හැකි ය. කෙසේ වුව ද, සිංහල සාහිත්‍ය වංශයට එක් වන ‘ප්‍රේමානිශංසයේ’ ආනිශංසය ඉදිරි පරම්පරාවන් වැළඳ ගත යුතු ය. සයුරු, නිරූ, කෙවින් වැන්නවුන් දසදහස් ගණනින් බිහි විය යුතු ය. එවිට පමණක් අපට යහපත් ලෝකයක් ගැන බලාපොරොත්තු දැල්විය හැකි ය.
– රශ්මික මණ්ඩාවල


Leave a Reply

Your email address will not be published.