පාර්ලිමේන්තුව විසුරුවන්න ජනවාරියේදීත් පුළුවන් !, ආණ්ඩුව – විපක්ෂය නීති උපදෙස් පතයි

උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ හැකියාව සම්බන්ධයෙන් ආණ්ඩුව සහ විපක්ෂය යන දෙපාර්ශ්වයම නීති ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.
ආණ්ඩුව දිගින්-දිගටම අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ අවශ්‍යතාව පිළිබඳව විපක්ෂයේ අවධානය යොමු වී ඇති අතර, එවැනි තත්ත්වයක් වළක්වා ගන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ක්‍රම දෙකකි. ඉන් එකක් වන්නේ ජනාධිපතිවරයා ස්වකැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට එය සිදු කළ හැක්කේ පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භක දින සිට වසර හතරහමාරකට පසුව ය. එහෙත්, විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව එය වසර දෙකහමාරක් දක්වා අඩු කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් වන අනෙක් ක්‍රමය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාගෙන් කරනු ලබන ඉල්ලීමකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව එම ඉල්ලීම කළ හැක්කේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මඟිනි. එහෙත් එය විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ දී වෙනස් වී ඇති අතර, එහි සඳහන් වන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහරින ලෙස යෝජනා සම්මතයක් මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය හැකි බවයි. ඒ අනුව සරල බහුතරයකින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට හැකි වනු ඇත. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 113ක එකඟතාව පමණක් ඒ සඳහා ප්‍රමාණවත් වේ. මේ ඉල්ලීම කළ හැකි කාලසීමාවක් ව්‍යවස්ථාවේ සඳහන් නොවන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
2020 අගෝස්තු 05 දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 145ක් ලැබී තිබේ. වෙනත් පක්ෂ මන්ත්‍රී ධුර 80ක් ලබා තිබේ. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ අවස්ථාව, අයවැය ඡන්ද විමසීම වැනි අවස්ථාවල දී මේ සංයුතියේ වෙනස්කම් සිදු විය. කෙසේ වෙතත්, මේ වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති අර්බුදකාරී තත්ත්වය නිසා පොදුජන පෙරමුණ යටතේ තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනකු සහ ශ්‍රීලනිපයෙන්ම තරග කළ මන්ත්‍රීවරයකු මෙන්ම විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි ඇමැතිවරුන් ද ආණ්ඩුව සමග ගැටලු ඇතිකරගෙන තිබේ. එසේම ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු ද ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටිති.
මේ තත්ත්වය යටතේ සරල බහුතරයක මන්ත්‍රී සංඛ්‍යාවක් සකස් කර ගැනීමේ අභියෝගය විපක්ෂයට ඇති අතර, එය වැළැක්වීමේ අභියෝගය ආණ්ඩුවට තිබේ. විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂය නීති ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින්නේ, මෙවැන්නක් සිදු කිරීම වැළැක්විය හැක්කේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.