අත්හැරියෙත් දිනුවේත් ආදරේ හින්දයි- භූමි තෙල් ස්කූටි අංකල්ගේ අන්දරය

ඒන්ස්ලි අයියා…!
මාත් එක්ක ගිය උපාලි මහත්මයා, ඒ විදිහට ආමන්ත්‍රණය කළත්, මට ඔහු අයියා කෙනෙක් නෙවෙයි. වයසින් බැලුවම අවුරුදු 84ක සීයා කෙනෙක් වුණත් බොහෝ දෙනෙක් ඔහු හඳුනාගන්නෙ ‘භූමි තෙල් ස්කූටර් අංකල්’ විදිහටයි.
‘මේ දවස්වල මොකද කරන්නේ? ඒ් ප්‍රශ්නයත් හිතවත් උපාලි මහත්මයාගෙන්.
‘මල්ලියෙ ගිටාර් ගහන්න පුරුදු වෙනවා. බැන්ජො එක නම් මට හොඳට පුරුදුයි. මේක හැදුවෙ මමමයි” ඊළඟට ඔහු බැන්ජෝ එක වයයි. එය හැදූ හැටි කියයි. එය පසෙකින් තබා යළි ගිටාරය අතට ගනියි.
ඒ වයසට අභියෝග කරන සදාකාලික යෞවනයෙකු වන එන්ස්ලි සිරිසේන. පදිංචිය පිළියන්දල.
‘කොහොමද ස්කූටරේ භූමිතෙල් වලින් දුවන්න හැදුවෙ? මං කතා බහ ආරම්භ කළා.

‘ මට වෙස්ෆ ස්කූටියක් තිබුණා. මායි මෙයයි කොහෙදෝ ගියා අලුත් අවුරුදු කාලෙ. සෑහෙන කාලෙකට ඉස්සර. ඇඹිලිපිටිය දිහෑ. පෙට්‍රල් නෑ. ෂෙඩ් වහලා. අලුත් අවුරුද්දට. භූමිතෙල් කියන්නෙත් ඉන්ධනයක්නෙ. භූමි තෙල් ටිකක් අරන් කෝකටත් කියල රත් කරලා දැම්මා. කාබලේටරයේ රබර් එහෙම තියෙනවානෙ. වැඩේ ඔට්ටු නෑ. ඒ්ත් ඉතිං කරන්න දෙයක් නෑනෙ. සිලින්ඩරේ රෙදි ඔතලා ඔතලා ගිනි තියලා රත් කෙරුවා. ඒංජින් එක රත් වුණා. ගහපු හැටියෙ ස්ටාට්. ඊළඟ කඩෙනුත් භූමි තෙල් අරන් දාගත්තා. මරු එකට යනවා. රත් වෙන්න රත්වෙන්න යනවා. ඇවිත් බලද්දි ක්‍රෑන්ක් එකේ රේසරය හොඳ නෑ. ඒක මාරු කෙරුවා. එතනදි තමා අයිඩියා එක ආවේ” ඔහු තමන් විසින් සාර්ථක ලෙස අත්හදා බැලූ භූමි තෙල් වලින් දුවන ස්කූටර් සැකසුම ගැන ආඩම්බරයෙන් කියයි.
‘’ඔය කොයි කාලෙද?
‘’මට අවුරුදු නම් මතක නෑ. එතකොට වෙස්ෆා වීසි කරලා. බී.එස් ඒ්, නෝට්න් , ට්‍රෑම්ප්, මැච්ලස්, ඒ්.ජේ.ඒස්, රෝයල් ඒන්ෆීල්ඩ්, ඩුකාට්, හොන්ඩා එන්ඩ පටන් ගත්තා. වෙස්ෆත් අර ක්ලාස් එකටම ගියා. සී සෙවන්ටි තිබ්බා. වෙස්ෆ කැලේට වීසි කෙරුවා. ඒ් කාලෙ පෙට්‍රල් ගැලුමක් (ලීටර් 4.4ක්) රු. 3.50යි. මිනිස්සුන්ට පෙට්‍රල් මිල නැග්ගම අනාථයි. අලුතෙන් ආව හොණ්ඩාවල පෙට්‍රල් වැඩකෙරුවා දෙගුණයක්. ඉතිං වෙස්ෆ විසි කරන එක අහන්ඩත් දෙයක්ද?
‘ඇයි භූමි තෙල් රත් කරලා දාන්ඩ ඕන? මං ආයෙම අහනවා.
‘මේකනෙ. භූමිතෙල් වලට පෙට්‍රල් කම්ප්ලීට්ලි කම්පැටිබල් වෙන්න 1: 8 මිශ්‍ර කරන්න ඕන. ඒ් කියන්නෙ පෙට්‍රල් එකකට වාතය 8ක්. ඒ්ක තමයි සංයුතිය. කොච්චර ඔ්නද කියලා මුලින් දන්නෙ නෑ. හැබැයි ලික්විඩ් එක ඝන වැඩි නිසා ඊට වඩා යමක් ඔ්න බව තේරුම් ගත්තා. මං ඔප්ෂන් දෙකක් තිබ්බා. එක්කො එංජින් එකට ලැබෙන භූමිතෙල් අඩු කරන්න ඕන. ඒහෙම නැත්නම් උෂ්ණත්වය වැඩි කරන්න ඕන. ඒහෙමත් නැතුව වාතය වැඩියෙන් දෙන්න බෑනෙ. ඉම්ප්‍රෙෂන් කොයිල් එක වයින් කෙරුවා වෝල්ටේජ් එක පොඩ්ඩක් වැඩි වෙන්ඩ. ප්‍රාථමික කොයිල් එක තමා. දෙවෙනි කොයිල් එක තියෙන්නෙ ඒළියෙ. කාබරේටරේ ජෙට් එක පුංචි කෙරුවා. කලින් පෙට්‍රල් අවුන්සය නම් දැන් අවුන්සයෙන් 3න් එකක් තමා දෙන්න ඔ්න. සක්ෂන් ෆෝස් එක පුංචි වැඩි වුණාම අදින්නෙ නෑ. පෙට්‍රල් වලට වඩා භූමි තෙල් තුන් ගුණයකින් ඝනත්වය වැඩියි. පෙට්‍රල් අවුන්සයක් දහනය වෙද්දි අරකෙ අවුන්ස 3ක් දහනය වෙනවා. ඉඩ වැඩි කරලා. දෙයියනේ කියලා ෂෝක් එකට ආවා. ඒ්ත් භූමිතෙල් වලින් විතරක් ස්ටාට් කරන්න බෑ. ඒ් හින්දා වෙනම බටයක් දාලා එයාර් ක්ලීනර් එක පැත්තෙන් කාබලේටරය උඩට එන්න. පුංචි කෑන් එකක පෙට්‍රල් තිබ්බා. ස්ටාට් කරන්න විතරක් පෙට්‍රල් චුට්ටක් ඕන.’’

ඒ් විදිහට තමන්ගෙ වෙස්ෆ ස්කූටිය, භූමිතෙල් වලින් දුවන්න හදාගත්ත එන්ස්ලි අංකල්, එදා සිට ‘භූමි තෙල් ස්කූටි අංකල්’ බවට පත්වුණා.
“මං පුවක්ගස් දෙණිය හංදියේ මගේ ස්කූටරයට භූමි තෙල් ගහද්දි එකෙක් ඇවිත්, ගැම්බර් දාන්ඩ ගත්තා. මේ අපි පෙට්‍රල් ගහද්දි මෙයා ලාම්පු තෙල් ගහන්නෙ. නීති විරෝධියි. පොලීසියට අල්ලලා දෙන්න වටින්නෙ කියලා. මං ඉතිං කීවා දෙකක් කන් දෙකේ ඇඟිලි ගහගන්ඩ”.
අද මෙන් මහා යන්ත්‍ර සූත්‍ර, කන්ටේනර්, දොඹකර නොමැති කාලෙක කතරගම කිරි වෙහෙරේ කොත පැළැන්දවීම වෙනුවෙන් එවක අග්‍රමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා ප්‍රමුඛ ප්‍රභූන්ට කිරි වෙහෙරේ කොත් කැරැල්ල ආසන්නයේ වේදිකාවක් තනාදීමේ කාර්යය මෙහෙයවෙන්නේද ඔහු අතිනි. ඒ් කතාවද අපූරුය.
‘’ඔය රත්මලාන පෙට්‍රල් ෂෙඩ් එකට කඩ දෙදක තුනකට එහා මගෙ පුංචි වැඩපොළක් තිබුණා. ඔතෙන්ට වැඩ කරගන්න එනවානෙ එක එක මිනිස්සු. රත්මලානෙ පරණ ගෙවල් වැඩි හරියකට ගේට්ටු හැදුවෙ මං. ඒ් කාලෙ 10X4 ගේට්ටුවක් හදන්න රුපියල් 140යි. බඩු වියදම් ඇරුණාම ගේට්ටුවකින් මට රු.25ක් ලාබයි. ඒ් කාලෙ සිල්වා මහත්තයා කියලා කෙනෙක් ගෙයක් හදලා තිබුණා 1 වෙනි ලේන් එකේ. එයා මට ආදරෙයි. සිවිල් ඉංජිනේරු කොන්ත්‍රාත් කෙනෙක්. එයා තමයි කිරි වෙහෙරේ කොන්ත්‍රාත් එක අරන් තිබුණේ. සංඝාවාස, පහන්වැටවල් ගොඩක් හදන්න තිබුණා. ඒ් කාලෙ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් රෝලන්ඩ් සිල්වා. මේ සිල්වා ඒ් සිල්වාගෙත් හොඳ යාළුවෙක්. මෙයා මගෙන් ඇහුවා. කිරිවෙහෙරේ කොත පළඳන්න යකඩ වැට ගහන්න ඔයාට පුළුවන්ද? කියලා. එහෙම වුණොත් මට මේ මුළු වැඩේ කොන්ත්‍රාත් එක ගන්ඩ පුළුවන් කියලා. මං ඒ වෙද්දි කිරි වෙහෙර දැකලාවත් නෑ. මට ප්ලෑන් එක පෙන්නුවම ටොයිස් වැඩක් වගේ පෙනුනේ. මං කීවා මේක මොන කජ්ජක්ද හා කියලා.”
එන්ස්ලි අංකල් හිතුව තරමේ සරල දෙයක් නොවුණු බව ඔහුට තේරුම් යන විට වැඩේ බාරගෙන අවසන් නිසාම අයාසායෙන් හෝ කාර්යය නිමා කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව නොතිබුණි.
‘’අම්මෝ ඒ්ක අඩි 108ක් උසයි. අඩි 20 X 20 ප්ලැට් ෆෝම් එකක් ගහන්ඩ ඕන. උඩට නැංගම බයයි. සෑහෙන පිරිසක් වැඩ. ගරා වැටිලානෙ. ආධාරයක් නෑනෙ. දේවතා කොටුව එහෙමත් කැඩිලා. කොත් කැරැල්ල ළඟ තමයි ප්ලැට්ෆෝම්. අඩි 108 ක් උඩට ජැක් ගහන්නයැ. පලංචි බඳින්නයැ. ලෝකෙ නැති විකාර කරලා කරලා, ඉෂෙඩ් හැඩයට එළියට බර කර කර මෙහෙම මෙහෙම ගහලා උඩට ගෙනාවා. හත් අට පාරකට තමා යකඩ බාර් එකක් ගේන්නෙ. අවසන් තැනට ෆ්‍රේම් එක ගෙනාවා. ගෙනාව ෆ්‍රේම් එකේ අඩු දෙකට ලොකු යකඩයක් පෑස්සුවා. අපට අවශ්‍ය පළලට. මේකට අනිත් තුන බිම ඉඳලා හැදුවා. මේසෙ වාගෙ කකුල් හතර හිටින්න පට්ටමක් හැදුවා. මේ කෑල්ල පස්සලා ගත්තම ලණු දාලා අනිත් පැත්තට ගියා. මේකට පෑස්සුවා අනිත් කෑලි දෙක. ඒ් දෙක පෑස්සුවම හරි. ඊට පස්සෙ ලී කෑලි තියලා..ඒ්ක උඩ තමා ප්ලැට්ෆෝම් ..කකුල් හතර බිම තියලා පෑස්සුවා. මිනිස්සු 104 දෙනෙක් වැඩ කෙරුවා. පඩිපෙළ දිග හූ කියාගෙන ඉස්සුවා. දෙවෙනි මලුවෙ උපාසක අම්මලා සාදු කියනවා. මර විජ්ජුම්බරයයි. කර ගහගෙන ආවා. පට්ටම තිබුණට එහාට මෙහාට යන්න බෑ. මේ කකුල් දෙකේ මේ පැත්තට තද කරලා. යට මිනිස්සු. මේ යකඩෙට කකුල් දෙක තියලා මේක අතාරින්න ඕන අර ෆ්‍රේම් එකට. ලණු දාලා වෙළලා, දෙයියන් බුදුන් සිහි කරලා අතෑරියා. විශ්වාස කරන්න කාන්දම් බලයට වගේ ඇල්ලුවා. ඊට පස්සෙ ඉතිං අවුලක් නෑ. පාස්සගෙන ගියා. අල්පෙනෙත්තකින් සීරුණු තරමක තුවාලයක් වුණේ නෑ. කිරි වෙහෙර හාස්කම් කියන්නෙ නිකම් නෙවෙයි. ”
‘’කරපු වැඩේට පඩි හම්බ වුණු විදිහ ගැනත් මතක් කරමු නේද?

‘ ආහ් ඒ්ක තමා මරු. පන්සලේ සුබ සාධක සමිතිය තමා පඩි ගෙවන්නෙ. මට සල්ලි හම්බවෙන්නෙ ගෝනි ගණන් වලින්. මොකද දෙයියන්ට දාන පඬුරු සල්ලි. දෙයියන්ටත් බොරු කරන වල්හැත්ත ඉන්නවනෙ. ගෙදර ඇවිත් ගණන් කරද්දි එහෙව් උන් දාපු පොට්ට කාසිත් හම්බ වෙනවා. ඊයම් වක්කරලා බොරුවට හදපු කාසි. සල්ලි ගෝණිය පිටින් මෝටර් සයිකලයේ බැඳගෙන ඒනවා. නැත්නම් සිල්වා මහත්තයට ජයනෙත්ති කියලා මහත්තයෙක් ජීප් එකක් දීලා තිබ්බා. ඒ්කෙත් දාගෙන එනවා.’
ඒ් කතාව එහෙමය. තවත් කතා එමටය.
එන්ස්ලි අංකල් එකම රැකියාවක්, ජීවන වෘත්තියක් නිසි ලෙස පිළිවෙළකට කරගෙන ගිය අයෙකු නොවේ. අද එකකි. හෙට තවත් එකකි. ඒ් ගැන ඔහු අදත් කතා කරන්නේ ආඩම්බරයෙනි.
‘’මං කිසිම රස්සාවකට බය වුණේ නෑ. ඒ්ක බෑ කියල හිතුණොත් වෙන එකක් කෙරුවා. ඒ්කත් බැරි නම් තව එකක්.”
70 සමගි පෙරමුණු ආණ්ඩු සමයේ අග භාගය වන විට ඒ් වන විටත් ලංකාවේ තරුණයින් අතර වඩා ජනප්‍රියව පැවති ලැම්බ්‍රෙටා ස්කූටර් වලට ක්ලච් ප්ලේට් හිඟයක් ඇති විය. ඒ් අද මෙන්ම විදේශයන්ගෙන් ගෙන්වීම අත්හිටවූ බැවිනි. අපගේ කථානායකයා ඒ් අවස්ථාවද අපතේ හැරියේ නැත.
‘’ක්ලච් ප්ලේට් නෑ. ඒ් වෙද්දි මං හිටියෙ ජම්බුගස්මුල්ලෙ. මං මගෙ ලැම්බ්‍රෙටා එකට ක්ලච්ප්ලේට් හැදුවා. ඒ්ක හරි ගියා. ඊට පස්සෙ දිගටම ඒ්වා හැදුවා. ඒ් කාලෙ පංචිකාවත්තෙ මං එනකල් බලාගෙන හිටපු කඩ තිබුණා. ”
ඒ් වන විට පොලීසියේ අය රාජකාරි සඳහා භාවිතා කරන ලද්දේද, මෝටර් සයිකල් බැව් එන්ස්ලි අංකල් කියයි. ඒ් නිසාම ඔහුට ශ්‍රී ලංකා පොලීසියෙන්ද රාජකාරියක් පැවරිණි.
‘’ඒ.එස්.පී කෙනෙක් හිටියා. පොලිස් ගරාජ් බාරව හිටිය ඉංජිනේරු. එයා තමයි පොලිස් ගරාජ් එකට අවශ්‍ය ක්ලච් ප්ලේට් මගෙන් අලව ගත්තෙ. මට ඒ් වෙනුවෙන් ප්‍රශංසා කරලා සහතිකයකුත් දුන්නා.”
‘’ඉතිං මේ නව නිපැයුම් දියුණු කරන්න කල්පනා කළේ නැත්තෙ ඇයි? මං ඇහුවා.
‘’ එහෙම උත්සාහ නොකළත් නෙවෙයි. ආණ්ඩුව පෙරළිලාද කොහෙද මං ගියා ඒ් කාලෙ කර්මාන්ත ඇති හම්බ වෙන්ඩ. සිරිල් මැතිව්. මං එයාට විස්තරේ කියලා මේක දියුණු කරගන්න උදව් කරන්න කියලා ඉල්ලුවා. පොලිස් ගරාජ් එකෙන් දුන්නු සහතිකේ පෙන්නුවා. හදපු ක්ලච් ප්ලේට් පෙන්නුවා. මොකද දන්නවද කීවේ, “ඔය ළමයගෙ මේ පුංචි ව්‍යාපාරයක් නිසා අපට ආණ්ඩුවක ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන්ද?” ඔන්න ඔහොමයි කීවෙ. ඔය ළමයා පිටරට කොම්පැණියක් එක්ක කතා කරලා ඒ් අයත් එක්ක එකතුවෙලා හදන්න. ඒතකොට අපි ගන්නම් කීවා. මං යනවා කීවෙත් නෑ එහෙමම නැඟිටලා එන්න ආවා.”
එන්ස්ලි අංකල්ගේ ක්ලච් ප්ලේට් කර්මාන්තය එතැනින් හමාර විය. එහෙත් අලුත් අලුත් දේ නිපදවීම, සෙවීමේ උනන්දුව අත්හරින්නට ඔහු සූදානම් නොවුණි.
‘’ඉස්සරලාම කාඩ්බෝඩ් හැදුවෙත් මං. ම‌ගේ මේ ඇඟිල්ල කැපිලා ගියේ කාඩ් බෝඩ් මැෂින් එකට. ඒ් කාලෙ මං හැදුව කාඩ්බෝඩ් තාම තියෙනවා. ක්ලච්ප්ලේට් වලට පස්සෙ. වාද්දුවෙිදි තමා කාඩ්බෝඩ් හැදුවෙ. ‘පොඩි 2.50 මෝටරේ දැම්මෙ ස්ට්‍රෝ හදන්ඩ. උදව් ගන්ඩ මහ උන් ගාවට ගියාම ”කොහොමද හදන්නෙ? කියලා දිගටම අහනවා. මිශ්‍රණය උන්ට වැඩක් නෑනෙ. කාල තියෙන පරිප්පු නිසා මං ඒ් වැඩෙත් එතනින් නවත්තලා දැම්මා.”
ඊළඟට ඔහු අත තබන්නේ තවත් එවැනිම වැඩකටය.
‘’මං තමා ඉස්සරලාම මැණික් කපන මැෂින් එක හැදුවෙ. මං ඒ්කට රිවස්ර්ස් ගියර් එකකුත් දැම්මා. හණ පෝරුවෙ කපන මිකැනිසම් එකම තමා තමා අනිත් පැත්තට දැම්මෙ. ඒ්ත් මට ඒ් කාලෙ ගල පොලිෂ් කරන විජ්ජාව හොයාගන්න බැරිවුණා.
ග්‍රයින්ඩිං කුඩු දාලා බැලුවා. හරි ගියෙ නෑ. දහයියා කුඩු, අළුවල දාලා බැලුවා. පොලිෂ් වෙන්නෙ නෑ. කාබරෙන්ඩම් කැපෙනවා. අන්තිමට වැඩේ දැනගත්තා. පොලිෂ් වෙන්නෙ ටෂ්කන් කාබයිඩ් කුඩුවලින්, ඇලුමිනා ඔක්සයිඩ් කුඩු වලින් තමා පොලිෂ් වෙන්නෙ. ඒ්ත් ඒ්වට කියන්නෙ නම් ”ඩයමන්ඩ් කුඩු” කියලයි. ඒ්ක දැනගන්න කොට මං වැඩේ අතාරලා.’’
‘ඇයි ඉතිං මේ දෙවල් වලට පේටන්ට් හම්බ වුණේ නැත්තෙ?
‘මං ඕවා පස්සෙ ගියෙ නෑ. ගුණවර්ධනලගෙ ගෙදර තමා මැෂින් එක හැදුවෙ. ජම්බුගස්මුල්ලෙ. එයා රිදී රත්තරං හදන මිනිහෙක්. වෙද මහත්තයෙක්. මැණික් කපන අයිඩියා එක මිනිහගෙ. නමුත් හැදුවෙ මම. එයාගෙ නමට තමා අද මැෂින් එක තියෙන්නේ”
දිග සුසුමක් හෙළුවත් ඔහුගේ මුහුණේ කිසිදු කලකිරීමක් නැත. පසුතැවීමක්ද නැත. මුහුණේ අව්‍යාජ ප්‍රතාපත් බව කියාපාන්නෙ වෙනත් රහසකි.

‘’මං මේ හැමදේම කරේ මෙයා හින්දා. ආදරේ හින්දා. අවුරුදු දහ නවයෙන් මං බැන්දෙ. මෙයාට පේන්න, එයාගෙ ආසාව දකින එක තමා මගේ එකම ආසාව වුණේ.”
ඔහු ආදරයෙන් තම බිරිඳ කරුණා දෙස බලයි. ඇය පැමිණ ඔහු අසළින් වාඩිවෙයි. ඔහු යළි ගිටාරය අතට ගනියි.
‘’ දන්නවද මං ඒ් දවස්වල මෙයා වෙනුවෙන් සිංදුත් හැදුවා”
ඔහු ගිටාරය වයමින් ගීතයක් ගයයි.
‘’සුරපුරයක් සේ මා ලොව සරසා ඇයි ඔබ දමා ගියේ..
මා හට පාලුයි..ගනදුර පැතිරෙයි
ඔබටත් තනිද රැයේ-ඔබටත් තනිද ප්‍රියේ….//
ඇයි ඉතිං මේ විරහ ගීයක් මෙයා වෙනුවෙන් හැදුවෙ. ඔහු කට පුරා සිනා සුනේය. කරුණා නැන්දාද ඒ් හිනාවට එකතු විය.
‘’මේකනෙ..මෙයා දවසක් ඇහුවා මං මැරුණොත් මොකද කරන්නෙ කියලා. මැරුණොත් ඉතිං වළදාන්ඩ වෙනවනෙ. තියාගන්ඩ බෑනෙ. මං ඉතිං කීවා මැරුණම වළදානවා. ඒ්ත් අමතක කරන්ඩ බැරි හින්දා සිංදු හදලා කියනවා කියලා. ඉතිං මේ ඒ් සිද්ධියට හදාපු සිංදුවක් තමයි”.
ඔහු අපූරු මිනිසෙකි. අපි ඒ් අපූරු මිනිසාට සමුදී එන්නට හැරුණෙමු.
සටහන- ප්‍රියාන් ආර් විජේබණ්ඩාර
ඡායා රූවිකුම් ජිතේන්ද්‍ර
විශේෂ ස්තූතියඋපාලි වික්‍රමසිංහ
 
 
 
 
 
 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.