ඉන්ධන මිල ඉහළ දැමීම හෙවත් ඇවිළෙන බඩු මිලට පෙට්‍රල් ගැසීම!

ආණ්ඩුව නැවත වරක් ඉන්ධන මිල ඉහළ දැමුවේය. ඒ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව කළ ගණනය කිරීමක් ලෙස පෙන්වා දෙමිනි. ඉකුත් 21දා ජනතාව නින්දෙන් අවදි වන විට දැනගන්නට ලැබුණේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20.00කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 10කින්ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින්ද ඉහළ ගොස් ඇති බවකි.
මීට මාස කිහිපයකට පෙර ද රජය ඉන්ධන මිල ඉහළ දැමුවේය. එම අවස්ථාවේ දී ද ආණ්ඩුව කීවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා තෙල් මිල ඉහළ දමන බවය. නැවතත් එම කරුණට අමතරව තවත් කරුණක් ආණ්ඩුව විසින් ප්‍රකාශ කරමින් සිටී. එනම්, මෙරට ඩොලර් සංචිත ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින නිසා ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඉන්ධන භාවිතය අධෛර්යවත් කිරීමට ඉන්ධන මිල ඉහළ දැමූ බවය.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ මතය එය වේ. ඉන්ධන ආනයනය වෙනුවෙන් මසකට ඩොලර් මිලියන 300ත් 350ත් අතර මුදලක් වැය වන බව සම කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම කීවේය. මෙලෙස ඩොලර් සංචිත අඩු වූයේ, ජනතාවගේ වරදින් නොව රටේ පාලකයන්ගේ වැරැදි ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල වශයෙන් බව දැන් සැමට
ප්‍රත්‍යක්ෂ වී හමාරය.
ඉන්ධන මිල ඉහළ දැමීමේ බලපෑම
ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව භාණ්ඩ හා සේවාවන් රාශියක මිල ඉහළ යන්නේය. ඒ අතර ප්‍රමුඛස්ථානය ගන්නේ පොදු ප්‍රවාහන සේවාවන්ය. අනෙක් පසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලද ඉහළ යන්නේය. එළවළු මිල පසුගිය කාලය තුළ සියයට සියයකින් ඉහළ ගොස් තිබිණි. එය එසේ වුවද, තෙල් මිල වැඩි වීමට සාපේක්ෂව එළවළු මිල යළිදු ඉහළ යනු ඇත.
ගෑස්, කිරි පිටි සේම තෙල් මිලත් මේ වන විට ඉහළ ගොස් තිබේ. බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටින්නේ, සහනාධාරයක් ලබා නොදුනහොත්, බස් ගාස්තුව 20%කින් පමණ ඉහළ දැමීමට සිදුවන බවය. ඔහු කියන ආකාරයට පළමු බස් ගාස්තුව රුපියල් 25.00ක් දක්වා ඉහළ යෑමට නියමිතය. ඒ අනුව අනෙකුත් ගාස්තුවල මිල වැඩි වීම ගැන සිතා ගත හැකිය.
මේ අතර බේකරි හිමියන්ගේ සංගමයද බේකරි නිෂ්පාදනවල මිල ගණන් පාලනය කිරීමෙන් ඉවත්ව ඇත. ආපන ශාලා හිමියන්ද එලෙසමය. තමන්ට කැමැති මුදලකට භාණ්ඩ අලෙවි කොට පාඩුව පියවා ගත හැකි බව ඔවුහු සඳහන් කරති.
ඉන්ධන මිල ඉකුත් 21දා සිට ඉහළ ගියේ මේ ආකාරයෙනි. (වගුව 01)
බෙලහීන බලශක්ති ඇමති
තෙල් සංස්ථාවේ මිල ඉහළ දැමීමට සාපේක්ෂව ඉන්දියානු තෙල් සමාගම ද ඉන්ධන මිල වැඩි කළේය. ඉන්ධන මිල වැඩිකිරීමට දින කිහිපයකට පෙර ඉන්ධන මිල වැඩි කරන ලෙස මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කර තිබෙන බවට සමාජ මාධ්‍යවල හා මුද්‍රිත මාධ්‍යවල තොරතුරු හුවමාරු විය. එම අවස්ථාවේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිල කීවේ, මුදල් අමාත්‍යාංශය එවැනි යෝජනාවක් කර තිබෙන බව සත්‍යය නමුත්, මේ අවස්ථාවේ මිල වැඩි කිරීමක් නොවනු ඇති බවය.
ඔහු එසේ කියා දින දෙකක් යන්නටත් මත්තෙන් ඉන්ධන මිල මුදල් අමාත්‍යාංශය මඟින් ඉහළ දැමුවේය. ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර කීවේ, ත්‍රිරෝද රථ ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බවය. ඔහු කියන ආකාරයට පළමු කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 50.00 සිට රුපියල් 80.00 දක්වා ඉහළ යනු ඇත. එසේම දෙවන කිලෝමීටරයේ සිට සෑම කිලෝමීටරයකටම ගාස්තුව රුපියල් 45.00කි.
ජීවත්වීමටත්, රැකියාව කරගෙන යෑමටත්, බංකොළොත් නොවී සිටීමටත් ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළ නංවන බව ඔහු කීවේය. එහෙත්, එම මුදලට මිනිසුන් ත්‍රිරෝද රථයේ ගමන් කරාවිද යන්න සැකසහිතය.
හෝටල් සහ බේකරි ‘ස්වයං පාලනයකට’
ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ, ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පිසූ ආහාරවල මිල පාලනය කිරීමට සිය සංගමයට නොහැකි බවය. එම නිසා කැමැති මිල ගණනක් යටතේ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමට හෝටල් හිමියන් කටයුතු කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බේකරි හිමියන්ගේ සංගමය බේකරි නිෂ්පාදනවල මිල තීරණය කිරීමේ සාධකයෙන් ඉවත් වන බවය. ජනතාව අපහසුතාවට පත් නොවන ලෙස මිල තීන්දු කරන ලෙසද ඔහු සිය නිවේදනයෙන් බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටියේය. මේ අතර බේකරි විශාල සංඛ්‍යාවක් පාන් පිටි මිල ඉහළ යෑම හා ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව වැසී ගොස් ඇති බවද සඳහන් කළේය.
කෙසේ නමුත්, මේ වන විට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත බසිමින් තිබේ. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉකුත් මාස දෙක හා සසදන විට 5%කින් පමණ පහත බැස ඇතැයි ලෝක වෙළෙඳපොළ තෙල් මිල උච්චාවචනය වන ආකාරය ගැන සොයා බලද්දී පැහැදිලි වේ.
බොරතෙල් මිල පහළට!
ඔක්තෝබර් මාසයේදී ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි වූයේ ඩොලර් 83ත් 86ත් අතර මිලකටය. ඊට ප්‍රථම බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 මට්ටමට පැමිණියේය. එහෙත්, අද වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 68ත් 72ත් අතර මිලක් දක්වා අඩුව තිබේ. කොවිඩ් ‘ඔමික්‍රෝන්’ ප්‍රභේදය යුරෝපය පුරා ශීඝ්‍රයෙන් පැතිර යෑම හේතුවෙන් ලබන වසරේ මුල් කාර්තුවේදී ද ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පුරෝකතනය කරති.
මෙරටට තෙල් ආනයනය කිරීමම අර්බුදකාරී පියවරකි. ඒ මෙරටට වැඩියෙන්ම තෙල් ආනයනය කරනුයේ පිරිපහදු කළ ඉන්ධන ලෙසය. එය බොරතෙල් ගෙන්වා පිරිසිදු කරනවාට වඩා මිලෙන් ඉහළය. තෙල් සංස්ථාව මෙරටට ක්‍රම දෙකකට ඉන්ධන ආනයනය කරයි. පළමු ක්‍රමය ලෙස බොරතෙල් ආනයනය කරන අතර දෙවන ක්‍රමය ලෙස පිරිපහදු කළ තෙල් ආනයනය කරයි.
බොරතෙල් ආනයනය කිරීම තුළ පෙට්‍රල්, ඩිසල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන සේම දැවිතෙල් ආදී තවත් ප්‍රභේද ගණනාවක්ම නිෂ්පාදනය කෙරෙන්නේය. නමුත් පිරිපහදු තෙල් මිලදී ගන්නේ ක්ෂණික මිලදී ගැනීම් ලෙස වීම මත එය මිල අධික ක්‍රමවේදයකි. පසුගිය කාලයේදී තෙල් සංස්ථාව බොරතෙල් ආනයනය කිරීම වෙනුවෙන් පිරිනැමූ ටෙන්ඩරය ද මේ වන විට ගැටලු රැසක් නිර්මාණය කළ එකක් බවට පත්ව තිබේ.
ඛනිජ තෙල් ටෙන්ඩර් අවුල
2021 ජුනි මස සිට 2022 පෙබරවාරි මස දක්වා බොරතෙල් ආනයනය කිරීම වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ටෙන්ඩරය පිරිනමා ඇත්තේ ‘කොන්සියෝ’ නම් නයිජීරියානු සමාගමකටය. එහෙත්, ඔවුන් කිසිදු තෙල් ඇණවුමක් තෙල් සංස්ථාවට ලබා දී නැතැයි තෙල් සංස්ථා සේවකයෝ පවසති. බොරතෙල් අර්බුදයට මෙයද හේතුවක් බවයි ඔවුන් කියා සිටියේ.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා කියා සිටියේ, බොරතෙල් ටෙන්ඩරය ලබා ගත් සමාගම එකදු නැව් තොගයක් හෝ සපයන්න අපොහොසත් වීම නිසා තෙල් ඇණවුම වෙනුවෙන් සමාගම තැන්පත් කළ ඩොලර් මිලියන එකක කාර්යසාධක බැඳුම්කරය රාජසන්තක කළ බවය. බොරතෙල් නොමැතිවීම නිසා තෙල් සංස්ථාවට බොරතෙල් ගැනීමට සිදුව ඇත්තේ ද අධික පිරිවැයක් දරමින් ක්ෂණික මිල දී ගැනීමේ ක්‍රමවේදය ඔස්සේය.
එම නිසා බොරතෙල් මිලදී ගැනීමද ඩොලර් ප්‍රශ්නය හමුවේ අර්බුදයක් බවට පත්ව තිබේ. ලබන ජනවාරියේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වරක් වසා දැමීමට සිදුවනු ඇත. ඒ ගැන බලශක්ති ඇමැතිවරයා ද අනතුරු ඇඟවීමක් කළේය.
ආණ්ඩුව පිරිපහදු තෙල් සැපයීමේ ටෙන්ඩරය මේ වන විට භාර දී ඇත්තේ පෙට්‍රෝ චයිනා සමාගම වෙතය. ඔවුන් ලබන වසරේ ජනවාරි මස දක්වා පිරිපහදු කළ තෙල් සපයනු ඇත.
ඉන්දියාවේ පිහිට පැතීම
ඉන්ධන මිලදී ගැනීමට පියවරක් නොමැතිවීම පදනම් කරගෙන ආණ්ඩුව මේ වන විට ඉන්දියාව දෙසට නැඹුරු වෙමින් සිටියි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ ඉන්දියානු සංචාරයේ අරමුණ ද එය විය. ඒ අනුව මුදල් අමාත්‍යාංශය ආණ්ඩුවට යෝජනා කර ඇත්තේ, මෙරටට අවශ්‍ය ඉන්ධන තොග ඉන්දියානු තෙල් සමාගම හරහා ලබා ගැනීමටය.
ඉන්දියානු තෙල් සමාගමෙන් ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඔවුනට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ලබාදීමට සිදුවනු ඇත. ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත කීවේ උදය ගම්මන්පිල ඇමැතිවරයා සංස්ථාවේ සියලු වෘත්තීය සමිති කැඳවා තෙල් ලබා ගැනීම වෙනුවෙන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අයි.ඕ.සී.යට ලබාදීමට සිදුවන බව ප්‍රකාශ කළ බවකි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඉහළ අංගනයේ තෙල් ටැංකි 24ක් ලංකාවට හිමි වන බවත්, මැද පිහිටි තවත් ටැංකි 61ක් එල්.අයි.ඕ.සී. හා සංස්ථාව අතර සාමුහික ගිවිසුමක් යටතේ පවත්වාගෙන යන බවත්, පහළ අංගනයේ සියලු තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගමට අවුරුදු 50ක බද්දකට ලබා දෙන්න වෙනවා යැයි ඇමතිවරයා සියලු වෘත්තීය සමිති ඉදිරියේ කීවා යැයිද ආනන්ද පාලිත කීවේය.
මේ සියල්ලෙහි මිල ලෙස නියම කර ඇත්තේ ඩොලර් මිලියන 500ක් බවද ඔහු පෙන්වා දුන්නේය. ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ ආණ්ඩුවට දොස් නොකියන තැනැත්තකු සොයා ගැනීම කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගන්නවාටත් වඩා අපහසුය. ධනපතියාගේ සිට යාචකයා දක්වා සියල්ලෝම සිය විරෝධය පළ කරති.
හදනවා යැයි කී තෙල් අරමුදල කෝ ?
මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර සිටින්නේ කොවිඩ් රෝගය හමුවේ රට වසා තැබූ 2020 වර්ෂයේ මුල් කාලයේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය ජනතාවට නොදී එම ලාභය යොදා ස්ථාපනය කරන බව කී තෙල් අරමුදල කෝ කියාය. රුපියල් කෝටි 2,000ක අරමුදලක් සෑදු බව එකල රජය ප්‍රකාශ කළද, ඊට සිදු වූ දෙයක් ගැන ප්‍රකාශ නොවුණු බැවින්, එම අරමුදලට වූ දේ විපක්ෂය ප්‍රශ්න කර සිටියි.
මේ අතර ආණ්ඩුවේම පිරිසකගෙන් යෝජනා වී ඇත්තේ ඉන්ධන වෙනුවෙන් කූපන් ක්‍රමයක් හඳුන්වා දෙන ලෙසටය. අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් එය හඳුන්වා දිය යුතු බව ඔවුන්ගේ අදහසය. මීට පෙර ධීවරයන්ට භූමිතෙල් සහන කූපනයක් දුන්නා සේ එය හඳුන්වා දීමට යෝජනා කර තිබේ.
ඉන්ධන මිල ඉහළ යෑමේ අර්බුදය ධීවරයන්ට ද දැඩිව බලපා තිබේ. ඔවුනට සහනයක් දෙන ලෙස සමස්ත ලංකා ධීවර සමිති සම්මේලනයේ සභාපති රත්න ගමගේ ඉල්ලා සිටියි. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම කරණකොටගෙන රටේ උද්ධමනය 11.1%ක් දක්වා වැඩිව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. එය මෑත ඉතිහාසයේ උද්ධමනය වාර්තා වූ වැඩිම අගය වේ. දකුණු ආසියානු කලාපයේ වැඩිම උද්ධමනය වාර්තා වූයේ පකිස්ථානයෙනි. ලංකාව ද අද වන විට එතැනට පැමිණ තිබේ. මෙය නොවැම්බර් මාසයේ උද්ධමනය ඉහළ යෑමේ ප්‍රතිශතය වන අතර දෙසැම්බර් මාසයේ උද්ධමනය මෙයට වඩා ඉහළ අගයක් ගනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.
සාගතයක පෙරනිමිති
මේ සියලු කාරණා හමුවේ සාගතයක පෙරනිමිති පහළ වෙමින් තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ කීවේ, රටේ ආහාර නිෂ්පාදනය පහළ ගොස් ඇති බවකි. යම් ආහාර හිඟයක් ඇතිවුවහොත්, අවශ්‍යතා පදනම් කරගනිමින් ආහාර ලබා දීමට සිදු වනු ඇති බවත් තරුණයන්ට යම් කැප කිරීමක් කරන්නට සිදුවනු ඇති බවත් ඔහු කීවේය.
ඉන්ධන ඇතුළු මිල ඉහළ යෑම තුළ ලබන වසර ඉතා තීරණාත්මක වසරක් වනු නොඅනුමානය.
– ලසන්ත වීරකුලසුරිය

සබැඳි

Leave a Reply

Your email address will not be published.