විගඩම් පත් කිරීම් සහ අබලන් රට…

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න පත් කරනු ලැබ තිබේ. දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ ඔහු එහි අවසන් වාර්තාව මඟින් අධිකරණයේ විභාග වන නඩු 79ක විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස නිර්දේශ කළේ ය.

මේ සියලු දෙනාම පාහේ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීහු සහ සමීප හිතවාදීහු ය. මේ සම්බන්ධව ඔහු වගඋත්තරකරුවකු කරමින් නඩු කිහිපයක් ගොනු වී තිබේ. ඊට අමතරව ඔහු අධිකරණයට අපහාස කළ බව කියමින්, අතුරුදන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ අගතියට පත් පාර්ශ්වය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් ද කර ඇත. එසේම උපාලි අබේරත්න විනිසුරු අධිකරණ සේවයේ සිටිය දී, නීතිය විෂමාචාර ලෙස භාවිත කිරීමේ චෝදනාවට 1999 වර්ෂයේ දී වරදකරු වූවෙකි. තොරතුරු කොමිසමේ සභාපති ධුරයට මෙවැනි අපකීර්තිමත් ඉතිහාසයක් ඇති අයකු පත් කිරීම තොරතුරු පනතේ අරමුණුවලට ද බරපතළ ලෙස හානිකර බව කිවයුතු නොවේ.

තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය ගෙන, විධායක ජනපති තනතුරට 20 හරහා තවත් බලය ඒකරාශී කරගෙන මේ යන ගමනේ ප්‍රතිඵලය වී ඇත්තේ තනි අත්තනෝමතික බලයක් ගොඩනැඟීමයි. අඩුම තරමින් පාර්ලිමේන්තුව තබා ආණ්ඩුවේ නිල ආයතනය වන කැබිනට් මණ්ඩලයවත් ජනපති කරන දේ දන්නේ නැත. ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අත්තනෝමතිකත්වයයි. ඔහුගේ කැමැත්ත මිලිටරි ක්‍රමයටයි.

ඒ අතර ජනාධිපතිවරයා ආණ්ඩුවේ කාබනික වගා ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇත. කොවිඩ් මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස පත් කර සිටියේ ද ඔහුම ය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තීය ප්‍රවීණයන්ගේ යෝජනාවලට පටහැනිව යමින් ඇති වූ අර්බුදය වට කීපයකින් රට කොවිඩ් වසංගතයට ගොදුරු කළා පමණක් නොව ජන ජීවිත රැසක්ම බිලි දෙන්නට ද සිදු විය. ආර්ථිකය ද තව දුරටත් කඩාවැටිණි. එවැනි අයකු මේ වන විට රට තුළ මහත් වියවුලක්ව පවතින කාබනික වගා ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස පත් කිරීම සැබැවින්ම විහිළුසහගත ය.
තවත් පත් කිරීමක් වූයේ, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වයඹ පළාත් ආණ්ඩුකාරයා ලෙස පත් කිරීම ය. තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ චූදිතයකු වන ඔහු ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට පෙර දිනයේ ආණ්ඩුකාර තනතුරකට පත් කිරීම මානව සදාචාරය හා ශිෂ්ටත්වය සම්පූර්ණයෙන් පාගා දැමීමකි.
ආයෝජන මණ්ඩල සභාපති තනතුරට මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු සභාපති මෙන්ම එය පාඩු ලැබීමට ප්‍රධාන වගකිවයුත්තකු වන රාජා එදිරිසූරිය පත් කරනු ලැබ තිබේ. එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කොමිසමේ සභාපති ලෙස ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුව පත් කිරීම ද මීට දෙවැනි නොවේ. පත්වීම ලද ආසන්න දිනවලම භික්ෂුන් වහන්සේලා කීප දෙනකුගේම අදහස් පළ කිරීම් සම්බන්ධයෙන් ඔවුන්ට ‘අමු තිත්ත කුණුහරුපයෙන්’ දේශනා පවත්වන හඬපට සමාජ මාධ්‍ය තුළ සැරිසැරී ය. අධිකරණයට අපහාස කිරීමට සිරදඬුවම් ලබා ජනාධිපති සමාවෙන් නිදහස් වූ මේ භික්ෂුව ඊට පෙර ද අධිකරණයෙන් වරදකරු වී ඇති අයෙකි. එසේම ප්‍රසිද්ධියේම විවිධ ජන කොටස්වලට ගරහමින්, චීවරයේ ගෞරවය නිතරම කෙළෙසන අයකු බව රටම දනී. මෙවැනි පත් කිරීම් දීර්ඝ ලැයිස්තුවක් ගෙනහැර දැක්විය හැකි ය.
මෙවැනි වගකිව යුතු තනතුරු සහ කාර්යභාරයන් උදෙසා ස්ථාපිත ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරනු ලැබුවේ 20වන සංශෝධනය මඟිනි. තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය ගෙන, විධායක ජනපති තනතුරට 20 හරහා තවත් බලය ඒකරාශී කරගෙන මේ යන ගමනේ ප්‍රතිඵලය වී ඇත්තේ තනි අත්තනෝමතික බලයක් ගොඩනැඟීමයි. අඩුම තරමින් පාර්ලිමේන්තුව තබා ආණ්ඩුවේ නිල ආයතනය වන කැබිනට් මණ්ඩලයවත් ජනපති කරන දේ දන්නේ නැත. ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොව අත්තනෝමතිකත්වයයි. ඔහුගේ කැමැත්ත මිලිටරි ක්‍රමයටයි.
රටක සිටින සියලු ජනතාව කිසිවක්ම නොතේරෙන මෝඩයන් ලෙස සලකා කටයුතු කරන පාලකයකුගෙන් බලාපොරොත්තු විය හැක්කේ මෙවැනි පන්නයේ වැඩ පමණ ය. රටේ සබුද්ධික ජනතාව මේ පිළිබඳව බැරෑරුම් ලෙස කල්පනා කළ යුතුව තිබෙන බව අපේ අදහසයි.
ඒ ඒ ක්‍ෂේත්‍රවල වගකීම් සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ පදනම විය යුත්තේ කුමක් ද? ඒවා සඳහා වන ප්‍රවීණත්වයත්, අදූෂිත බවත්, කැපවීමත් මෙහි දී වැදගත්ම සාධක ය. අදාළ ක්‍ෂේත්‍ර තුළම සිදු කරන සංවාද, සාකච්ඡා තුළින් ඒ සඳහා යෝජනා ලබා ගත යුතු ය. එසේම පැහැදිලි ඉදිරි දැක්මක් ඇති, පරිණත එමෙන්ම සාමුහික පදනම මත කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක මඟපෙන්වීම ද එයට අවශ්‍ය ය. වසර 73ක මෙරට ඉතිහාසයේ සිදු නොවූයේ ද මෙයම ය●
 
 
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.