වයසට යන ශ්‍රී ලංකා ගුවන්විදුලිය ගැන පලක් නැති සටහනක්

ලංකා ගුවන් විදුලිය ඇරඹෙන්නේ 1925 දෙසැම්බර් 16 වෙනිදාවක බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ බ්‍රිතාන්‍යය ගුවන්විදුලිය (BBC) අරඹා වසර තුනකට පස්සේ. ඒ අරුතින් ගත්විට එය ආසියාවේ පළමු ගුවන්විදුලිය ලෙසත් ලෝකයේ දෙවැනි ගුවන්විදුලිය ලෙසත් ඉතිහාසගත වී තිබෙනවා. නමුත් අදටත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ සුවිශේෂත්වය ආකර්ෂණීය ලකුණක් ලෙස සමාජගත කරගන්න අසමත්. එය විශාල ප්‍රචාරණ හා ප්‍රවර්ධන අවස්ථාවක්.
අද ඒ ගුවන් විදුලිය වසර 96ක් සපුරණවා. වසර 96 දශක 9කට බෙදා ඒ දශකයෙන් දශකය ගුවන්විදුලිය අත්පත් කරගත් ජයග්‍රහණයක් හා පරාජයන් මෙන්ම ඒවා සඳහා හේතු වූ සමාජ දේශපාලන හා ආර්ථික මෙන්ම ආයතනික ව්‍යුහාත්මක කාරනා විශ්ලේෂණය කර බලන්නට මෙය කදිම මොහොතක්. විදුලි බුබුළු වලින් සරසා පිරිත් කියා අනෙක් ආගමික වතාවත් කරා කියා ගුවන්විදුලියට අත්වෙන සුගතියක් නැති බවයි අපේ පිළිගැනීම.
මේ ගුවන්විදුලිය සතුව ඇති මගඟු ඓතිහාසික සම්පත් ලංකාවේ වෙන කිසිම ගුවන්විදුලි ආයතනයක් සතුව නෑ. ඉතා පැරණි හඬපටි පවා හිමි පුස්තකාලය නිධානයක්. එය වර්ථමාන සන්නිවේදකයින්ට මහඟු සම්පතක්. ග්‍රාහකයින් දැඩිව ආකර්ෂණය කරගත හැකි ස්ථානයක්. මේ විෂය හදාරණ හා පර්යේෂණ කරණ විද්‍යාර්ථීන්ට හා විද්වතුන්ට දැනුම් ගබඩාවක්. ඒ සඳහා ගුවන්විදුලිය ක්‍රමවත් ලෙස එය බාහිර අවශ්‍යතාවන් සඳහා පහසු ලෙස විවෘත කර තිබෙනවා ද? අමාරුවෙන් හරි ඒ අවස්ථා උදාකරගත් අයට සතුටුදායක සේවාවක් ලැබුණාද? අපේ දැනුමේ හැටියට එය කණගාටුදායකයි. මෑතකදී පර්යේෂණ පත්‍රිකාවක් සඳහා මෙය පරිහරණය කල අප මිත්‍ර මහාචාර්ය සසංක පෙරේරා ගේ අත්දැකීම් එබඳුයි. Sasanka Perera (ජාතික ලේඛණාගාරය මෙන් මෙයද යම් සාධාරණ ආදායමක් ඉපැයියහැකි තැනක් බවද සලකන්න)
ලෝකයේ ගුවන්විදුලි තවදුරටත් මැදිරිවලට ලඝුවී නොමැති කාලයක ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ඉහවහා ගොස් ඇති කාලසමයක ගුවන්විදුලිය සිය ග්‍රාහකයාට එහි නියෝජනයක් ලබාදීම සිදුකර ඇතිද? නිෂ්පාදක නිෂ්පාදිකාවන් මැදිරියෙන් එළියට ගොස් පටිගත කිරීම්වල නිරතවෙනවාද ? ඒ පුරවැසි හඬ වැඩසටහන් තුල භාවිතා කරමින් ඔවුන් වඩාත් සක්‍රීය, ප්‍රජාතන්ත්‍රවාදී, දැනුමැති පුරවැසියන් බවට පත්කර තිබේද? ගුවන්විදුලිය තවදුරටත් ප්‍රභූපන්තියේ පන්ති උපකරණයක් ලෙස පමණක් භාවිතාවෙන්නේ ඇයි ? එය සමාජ ආන්තික කොටස් වෙතට නොදෙන්නේ ඇයි. මේ ගැන හිටපු සභාපතිවරයෙකු වූ අප මිත්‍ර සුදර්ශන Sudarshana Gunawardana පෞද්ගලිකව මුණගැසී කතා කල බව ඔහුට මතකදැයි දන්නේ නැහැ. අප එහිදී පැවසුවේ තෝරාගත් නිෂ්පාදන කණ්ඩායමක් නිරන්තරයෙන් බාහිර සමාජයට මුදාහැර වැඩසටහන් නිෂ්පාදනය කරවන ලෙසයි.
ගුවන්විදුලි නාලිකාවලින් පරිබාහිරව කෙරෙන නව අරුත් බර ගීත නිෂ්පාදනයන්, විශේෂයෙන් YouTube සඳහා යොදා ඇති සාර්ථක ගීත ගුවන්විදුලියට ආකර්ෂණය කරගත හැකි ක්‍රමෝපායක් කිසිදු අමතර වියදමක් නැතිව, අමතර ආදායමක් ද උපයමින් සිදුකරගන්නා ආකාරය අප එදා සුදර්ශනට යෝජනා කලා. නමුත් ඒවා සිදුවූ ආකාරයක් දුටුවේ නැහැ.
ගුවන්විදුලි අභ්‍යාස ආයතනය තව දුරටත් සරල සහතිකපත් පාඨමාලාවලට සිර නොවී සමස්ථ මාධ්‍ය ගැන (පැරණි මාධ්‍ය හා නව මාධ්‍ය) දෙස් විදෙස් පාඨමාලා පවත්වන දකුණු ආසියානු කලාපයේ සුවිශේෂ පුහුණු ආයතනයක් බවට පරිවර්තනය කලහැකි තැනක්. උදාහරණයක් ලෙස මලයාසියාවේ AIBD මෙන්. එය මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති ගුවන්විදුලියට සත් ඉපැයීම් මාර්ගයක්.
කෙසේ වෙතත් මේ මොහොත රාජ්‍ය ගුවන්විදුලියේ පැවත්ම උදෙසා කෙරෙන පුළුල් හරවත් සංවාදයකට අවස්ථාවක් කරගන්නේ නම් මෙවැනි විකල්පීය අවස්ථා ගරා පෙරා ගතහැකි බවයි අපේ විශ්වාසය. වෙනත් පලක් නැති දේ කිරීමෙන් කිසිදු ධනාත්මක ප්‍රතිඵලයක් වත්මන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට අත්පත් වන්නේ නැහැ.
මේවා ඵලක් නැති යෝජනා ලෙස ඉවත දැමූවද මේ සටහන පවා ලියූවේ තවමත් ප්‍රජා කේන්ද්‍රීය ගුවන්විදුලි සන්නිවේදනයක් ගැන “උණක්” ඇති, ගුවන්විදුලිය අපේ ජීවිතයේ දෙවැනි සරසවිය ලෙස සලකන කෙනෙකු නිසයි.
“අසන්නා අසන තුරු රේඩියෝව ගොළු මාධ්‍යයකි.”

  • අර්නස්ට් ඇගීමාං යෙබෝවා
    ඝානා ලේඛක

“සාදු, නමස්තේ, ආමෙන්, අල්ලාහු අක්බර්!”
ශ්‍රී ලංකා ගුවන්විදුලියේ හිටපු (අකාලයේ ඉවත්වීමට වැඩ සැලැස්වූ ) ජ්‍යේෂ්ඨ සංවිධායක / නිෂ්පාදක / නිවේදක – කපිල එම්. ගමගේ.
මෙම සටහන කපිල එම්. ගමගේ විසින් සිය ෆේස් බුක් පිටුවේ සටහන් කර තුබූ අතර එම සටහනට අදහස් දක්වමින් කිහිප දෙනෙක්ම මේ අකාරයෙන් ප්‍රකාශ කර තිබේ. පහත පලවෙන්නේ එම සටහන් කිහිපයකි.
අපේ ගුරුවරයෙකුගෙ ගීතයක් ලබාගන්න උත්සාහ කළා ඔහුට සංවිධානය කළ උපහාර උත්සවයක් වෙනුවෙන්. ඒත් ඒක ගන්න පුළුවන් උණේ නෑ.. මට තේරෙන්නෙ නෑ ඇයි ඒවා අගුළු දාගෙන තියන් ඉන්නෙ කියලා..
– චතුරිකා නිර්මානි
ඒකට තමයි ගුවන් විදුලි සංස්ථාවේ පාරිභාෂික ශබ්ධකෝෂයට අනුව #සංරක්ෂණය_කිරීම කියන්නේ නංගී….පෙට්ටගමක අගුලු දමා වසා තැබීම
– ප්‍රසාද් ප්‍රනාන්දු
ගුවන් විදුලි සංස්ථාව පොදු ජනයා හද බැඳගත් ආයතනයක් . ප්‍රජා ගුවන් විදුලි සෙවය ප්‍රාදෙශිය ලෙස ජනප්‍රියයි . එහෙත් මුල් කාලයෙ තිබු ජීවී ගුණය දැන් හදුනාගත නොහැක . උදා: ගිරාදුරුකොට්ටෙ ප්‍රජා ගුවන් විදුලි සෙවය මගින් 80 ගණන් වල විකාශනය කළ “පතිරණ මහත්තයාගෙන් අසන්න” වැණි වැඩසටහන් දැන් නැත. කෙසෙ හො හොද සිංදුවක් ශ්‍රවණය කළ යුතු වු විට අපි අහන්නෙ වෙළඳ හො ස්වදෙශිය සෙවාවයි. එමෙන්ම පරිසර වැඩසටහන් කිහිපයක් උසස් තත්ත්වයේ ඇත . මම අසා ඇති ආකාරයට ඉන්දියාවේ පවා දැන් නැති හින්දි ගී ගුවන් විදුලි තැට් ගබඩාවේ තිබෙනවාළු. බණ වාණිජකරණය වීම ගැන කණගාටුයි.
– අශෝක කරුණාරත්න
රූපවාහිනී එක ළගදි කළා වගේ ආයේ තරුණ කරලා, පොඩි rebranding වැඩක් කරලා ගත්තා නම් හරි… SLBC එක, මට හිතෙන විදිහට, තාම ඉන්නේ 80 දශකයේ මැද භාගයේ විතර… එහෙම කාලේ හැටියට modernize වෙලා, update වෙන්නේ නැති ගතිය කාලෙක ඉදන් SLBC එකේ තිබුනා… ඉතින්, මං හිතෙන්නේ, එයාලාගේ marketing department එක improve වෙන්න ඕනේ..
-ගිම්හානි කුරුප්පු
අර බුදු පිළිමේ ඉස්සරහ ගෝවා වගාවක් කරා නේද එකෙක් ? ඒ කාගේ ගොම වලින්ද? අන්න එතන තියෙනවා සමස්ත පද්ධතියටම වෙච්ච දේ…. ඕක දැන් චින් රෙස්ට් එකක් ගන්ඩ මිසක් වෙන දේකට නං වැඩක් නැතිම තැනක්
– හර්ෂ පීරිස්
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.