අපේ වගේ දකුණු ආසියාතික රටවල් හසුවී ඇති ආර්ථික උගුල තේරුම්ගැනීමට මාර්ගෝපදේශයක්

අපේ වගේ දකුණු ආසියාතික රටවල් හසුවී ඇති ආර්ථික උගුල තේරුම්ගැනීමට මාර්ගෝපදේශයක්

මේ පොත මට නිර්දේශ කළේ, උපාධියට, ජාත්‍යන්තර ව්‍යාපාර අධ්‍යයනය උගන්වපු ගුරුතුමා.
න්‍යායවලින් ඉගැන්වෙන්නේ නැති පැත්තක් ගැන කතා කෙරෙනවා කියලායි කීවේ.
ඒ දවස්වල ක්ලාස්එකක් ගන්න දඟලන හින්දා, මං, කන්නේඅඳින්නේවත් නැතුව මැනේජ්මන්ට් පොත් හොයහොයා කියවපු කාලයක්.
මේක අධ්‍යයන ග්‍රන්ථයකින් එහාට ගිහින් නවකතාවක් තරම් ම රසවත් වුණ හින්දා, ඊට අවුරුදු දහයකට විතර පස්සේත්, දැන් මේ කියවන්නේ හතරවෙනි වතාවට…
අහස්ගෙන් රහස් (කියවන පොතක නොකියවෙන කතාවක්) – 86
මේ පොතේ කියවෙන විදියට, ආර්ථිකයක් ඝාතනය කරනවා කියන සංකල්පය සරලව පැහැදිලි කරන්න මං උත්සාහ කරන්නම්.
ඒක, සංවර්ධිත රටවල් විසින් ඌන සංවර්ධිත රටවල්වල ධනය කොල්ලකන්න යොදාගන්න, නව යටත්විජිතකරණවාදී සංකීර්ණ ක්‍රමවේදයක්.
විදේශාධාර සහ රටකට දරන්න බැරි තරමේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හරහා, රටක් යාවජීව ණයකාරයෙක් කරගෙන, තමන්ට අවශ්‍ය විදියට හැසිරවීමයි මේකේ දී සිද්ධ වෙන්නේ.
මේ ක්‍රමවේදය ඉලක්කගත රටක් තුළ බලගන්වන්න හැකියාව තියන විශේෂඥයන් පිරිසකට තමයි ආර්ථික කුලීඝාතකයෝ කියලා කියන්නේ.
විවිධාකාර අල්ලස් ලබාදීම තුළින්, මේ වැඩේට එයාලා ප්‍රධාන වශයෙන් ආධාර කරගන්නේ අදාළ රටේ ම ඉන්න දූෂිත දේශපාලකයෝ.
මඩ ව්‍යාපාර වගේ උපක්‍රමවලින්, ඒ රටේ ඉන්න සැබෑ ජනතාවාදී නායකයන්ව අඩපණ කිරීමත් මේ සැලැස්මේ ම කොටසක්.
.මේ පොත ලියන ලේඛකයාත්, කාලයක් අමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ආර්ථික කුලීඝාතකයෙක් හැටියට කටයුතු කරපු කෙනෙක්.
එයාගේ අත්දැකීම් එක්ක, විශේෂයෙන් ම ලතින් අමෙරිකානු රටවල්වල ආර්ථිකයන් අඩපණ කරන්න සිදු කළ මෙහෙයුම් ගැනයි මේකේ වැඩි වශයෙන් විස්තර වෙන්නේ.
.
අපිට මේ පොතේ තියන වැදගත්කම තමයි, අපේ වගේ දකුණු ආසියාතික රටවල් මොනමොන විදියේ ආර්ථික උගුල්වලට අහුවෙලා ද ඉන්නේ කියනඑක තේරුම්ගන්න ලැබෙන මාර්ගෝපදේශය.
රටක් බංකොලොත්භාවයට පත් වෙන්න ක්‍රියා කරපු; ජාවාරම්කාරයෝ වට කරගත්ත බලලෝභී දූෂිතයෝ කවුද, රටකට ගැළපෙන දැක්මක් නැතුව නැටවෙන අධිරාජ්‍යවාදී රටවල්වල රූකඩ කවුද, අභියෝගවලට මුහුණදෙන්න බැරුව පලාගිහින් අනාගතය ගැන හීනලෝක මවලා පෙන්වන්නේ කවුද වගේ දේවල්, මේ පොත කියවීමෙන් පස්සේ වඩාත් පැහැදිලිව පේන්නගනියි.
– අරුණ අහස් රත්නායක
අහස්ගෙන් රහස් (කියවන පොතක නොකියවෙන කතාවක්) – 86


Leave a Reply

Your email address will not be published.