ජොනී නම් බරඋසුලන්නා

ජොනී නම් බරඋසුලන්නා

ජොනී නම් බර උසුලන්නා නැත, බර උසුලන්නන් ගැන ලියමි.
මට හමුව ඇති මුල්ම බර උසුලන්නා ජොනී ය. මෙ කියනා ජොනී පණහ හැට සැත්තෑව දශකයන්හී හොරණ නගරයෙහි අතිශය පරසිදු බර උසුලන්නාය. ජොනී කාලවර්ණ සිරුරැති ය. ගත වැසී ඇත්තේ රළුව ගිය සමකිනි. පිට වක් ය. දෙපා බකල ය. පිටට දෙන බර හේතුවෙන් දෙපතුල් හී ඇඟිලි මහපටැඟිල්ලේ සිටම ඇතුලට නැමිලා ය. මේ ජොනී හොරණ පොදු වෙළඳ පොලේ කඩ වල සිට ලොරි වලට සහ ලොරි වල සිට කඩවලපටද නගරයේ බස් නැවතුම්පොලටද හාල් මිටියක්, කරවල සිප්පමක්, එළවළු කෑල්ල, තක්කාලි පෙට්ටියක් කරගසාගෙන යන දසුන් එකළ සුලබ ය.
ජොනී අලප්භාෂීය. මුඛරි නැත. සාවිහිංසක සිනහවක් ඇත්තේය. අපේ මහජන සේවකයන්ගේ මෙන් ඇඳුම දිදුලන ධවල පැහැ නැත. එහෙත් මේ මිනිසා ඔවුන්ට වඩා සුපිරිසිදු ය. ආනෙක් අතින් ජොනීහ‍ට ප්රතිපත්තිද තිබුණේය. ඔහු තමන් කරට පටවන මුට්ටය ගැන දැනුවත්ය. කිසි දිනෙක ඔහු අනීතික මුට්ට කරගැසුවේ නැත. එසේම තම සේවය ලබාගන්නාගේ විශ්වාසය කඩ කළේද නැත. කවර මිලක් ගෙවන්නට සැරසුනද කිසි දිනෙක හෝ අසූචි මුට්ට කරගසන්නට ජොනී නම්මා ගන්නට බැරිය. ජොනී තම සාධාරණ ගාස්තුව ඉක්මවා කඩවඩා ගන්නට ගියේද නැත. කෙටියෙන්ම කියනවා නම් ජොනී තමන් කරගසනා මුට්ටය ගැන මනා අවබෝධයකින් තොරව කිසිමද දිනෙක මුට්ට කරගැසුවේ නැත. තම කරට තැබූ මුට්ටයෙන් ලූණු බිකක් තරම හොරකම් කළේද නැත.
ඉදින් එක්තරා දිනෙක මේ ජොනී උපහාරයට ලක් කරන ලද්දේය. ඒ 1972.10.29 දිනදීය. එයද රසවත් කතාවකි. හැත්තෑව දශකයේ සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ උපහාර වැසි වැස්සේය. මෙය මල වදයක් වන තරමටම පැතිරුණේය. උපහාර ලබන්නට කිසිම සුදුසුකමක් නැත්තෝද පෙරහරේ උන්නෝය. එහෙයින් මෙය උපහාසයට ලක් කිරීමේ අරමුණින් දෙදෙනකු උපහාර උළෙලක් සංවිධානය කළෝය. එයින් එකෙක් බුලත්සිංහල දිවලකඩ ගුණදාස ලියනගේ නම් මාද්යයවේදියා සහ ලේඛකයාය. අනෙකා ජේ. ආර්. ප්‍රේමදාස පාලන සමයේ අභිරහස් ලෙස කොළඹ නගර ශාලාව ඉදිරිපිට වැඩ ඇරී නිවෙස බලා එන්නට බස් රිය අපේක්ෂාවෙන් සිටියදී පිහියෙන් ඇන ඝාතනය කරන ලද කිත්සිරි සමරනායක ය. ඔහු එවක විජය පුත්පතේ කතුවර යා ය. ඔහුගේ ගම බුලත්සිංහල නාරගල ය. මේ දෙදෙනා පසුපස තවත් අයෙක් සිටියේය. ඒ කිත්සිරිගේ පියා වූ කවියතු මෙන්ම හොඳ ගුරුවරයතු ද වූ යසපාල සමරනායකය.
අරමුණ කුමක් වුවත් මේ උපහාරයක් සැබැවින්ම උපහාර ලැබිය යුත්තකු පුදන ලද්දේය. අනවශ්‍ය උපහාර මැකී ගියේය.
උපහාර උළෙල දා අසීරුවෙන් පයිප්පයක් ළඟට ගෙන යනු ලදුව ජොනීගේ ගත පිරිසිදු කරන ලද්දේය. විවිධ සබන් වර්ග අත්හදා බලන ලද ඒ උත්සාහය වාසනාවට සබන් කොම්පැණිකාරයන්ට ඇස ගැසුනේද නැත. නැතිනම් උන් ඒකත් වෙළඳ වාසියට යොදා ගන්නවා සැක නැත. අන්තිමේ සුදෙන් බැබලෙමින් ජොනී වේදිකාවේය. මුදල් නොට්ටු මාලයක් ඇතුළු මල් මාලා ජොනී ගෙල පළඳන ලද්දේය. පසුදින දවස ඇතුලු පුවත්පත්වල දෑත් බැඳ ජනයාට ආචාර කරනා ජොනී ගේ ඡායාරූප පලව තිබුණේය.
උත්සවය හමාරය. පසුදා සිට ජොනී යළිත් සිය සේවයෙහි ය. තමන් උපහාර ලද්දෙකිය යන ආඩම්බරයක් ඔහුගේ අහලකවත් නැත. ඒ ඒ අවධියේ ජොනී ගේ හැටි ය. ඒ ජොනී සැබැවින්ම මහත්මයෙකි.
එහෙත් වර්තමාන ජොනී එහෙම නැත. මේ ජොනීගේ කාරියත් මුට්ට කර ගසන එකය. එහෙත් අතීත ජොනීට මෙන් මේ ජොනීට ප්‍රතිපත්ති නැත. එවන් ප්‍රතිපත්ති නැතිකමම මේ ජොනීගේ ප්‍රතිපත්තිය ය. මේ ජොනී හට තමන් කරගසන්නේ කවර මුට්ටයක්ද කියනා එක වැදගත් නැත. හාම්පුතා කියනා කවර මුට්ටයකට වුව ඔහු කරගසයි. එය අසූචි මුට්ටයක් වුව ඔහුට වගේ වගක් නැත. හාම්පුතා අසූචි බං අසූචි බලහං ඕකෙ සුවඳ කිවුවොත් ඔහු දෙවරක් නොසිතා සැබැයි සැබැයි කක්කි හොඳයි කියයි.
මේ ජොනී වාචාලය. ධවල පැහැයෙන් දිලෙන්නේය. සිනා පිරි මුව ය. වැදගත් පොතක් කියෙවු බවට සාක්ෂියක් නැතත් එල්ලය බලා යෝධ පොත් වලින් පහර දීමේ සෙල්ලමෙහි ප්‍රාප්තය. ඔලිම්පික් කමිටුව මේ සෙල්ලම ඇතුලත් කළ දාට අපට ජොනී හින්දා මේ ඉසවුවෙන් ඔලිම්පික් පදක්කමක් ෂුවර් ය.
මේ ජොනී තර්කානුකූලය. කර ගහන මුට්ටෙ මොනවද තියෙන්නෙ කියලා බලන්නැතුව කරගහන එක චා නේද කියා ඇහූවිට ජොනී කියන්නේ ආයෙ මොක බලන්නද කොහොමත් මං ඕක කරගහනවනෙ කියලාය. අනෙක් අතින් කරගහනා මුට්ටය ගැන වගකීමක් ද නැත. එහෙත් මේ ජොනී වර්තමාන සමාජයට පොරකි. සමහරුන්ට පොර කුකුලෙකි.
අතීත ජොනී ජොනී වෝකර් මෙන් ඉස්තරම් ය. එහෙත් වර්තමාන ජොනී ජොනී ජෝකර් ය. ඇත්තම කියනවා නම් අතීත ජොනී සැබැවින්ම ජීවත් වූවේය. වර්තමාන ජොනී කල්පිතයක් බව සිතා ගන්නවා හොඳය.
– චුලානන්ද සමරනායක (fb)


Leave a Reply

Your email address will not be published.