ආයිබොවන්ඩ රනිල්..,

දෙයියම්පා රනිල්, මේ ළඟදි දවසක පුල් සූට් ගහගෙන ඔහේ දියවන්නා මන්දිරෙදි දීපු ටෝක් එකනං මාරම මාරයි. කොටින්ම කියනවනං අපි මේ දැහින්ම දැක්කනෙ මු`ඵ ආණ්ඩු පක්සෙම තක්බිර් වෙලා කන්වල ඇඟිලි ගහගෙන උන්නු හැටි. ආය දෙකක් නැහැ ඔහේ දෙන එක දුන්නා උන්දැලාගේ බොකු-බඩවැල් ඇඹරිල යන්ඩම.
අර තිස්සකුට්ටටියා ඊයෙ -පෙරේදා දියවන්නාවට මුදා හැරපු වර්චස් සුඟන්දෙ මොකක්ද කියල හිතෙනවා රනිල් ඔහේගෙ සිරි මුඛයද මොකක්ද කියන එකෙන් ගලාගෙන ආපු වදන් වැලට. මොනව වුණත් ආයිබොවන්ඩ සජිත් ළමයා එයාගෙ ගෝලබාල නඩෙත් එක්ක දියවන්නා ඔයේ මඩ නාගනිමින් ඉන්න වෙලාවෙ තමුන්නැහැ රාජකීය ඉස්ටේට්මෑන් කෙනෙක් හැටියට විපක්සයේ රාජකාරිය ඉස්ට-සිද්ද කළ එකටනං සමස්ත ජාතියන්තර ප්‍රොජාවගේම ගෞරව -ප්‍රණාම හිමි වෙනවා සත්තයි.
කිව්වට අස්වහක්-කටවහක් නැහැ බුදු සෑර් රාජපක්සලාගෙ සනුහරේම එක ගොඩකට දාලා කිරල බැලුවත් තනි අලියා හැටියට දියවන්නාවෙ රජ කරන තමුන්නැහැගෙ ඊට වඩා බර බව අපිටනං හොඳටම ෂුවර්. පහුගිය ඉලැක්සොන් එකෙන් තමුන්නැහලව බිංදුවට බස්සලා අපි කොරගත්තු අපරාදෙටනං මෙහෙම වෙලා මදි නේද රනිල්. අර සැන්ටරල් බැංකුවේ සිද්ද වුණාය කියන පුංචි ඉලක්කං පටලැවිල්ලනෙ දෙයියනේ මේ හැම විපතකටම මුල. තමුන්නැහැලට විරුද්දව බොරු මුසාවාද පතුරවල අහිංසක අපිව මුලා කොරපු එකාලව කවද හරි දවසක ගෝල්පේස් පිට්ටනියට අරං ඇවිත් අපේ ඇස් ඉස්සරහාපිටම දස වද පමුණුවන්ඩ ඕනෑ හරිද සෑර්? ඔන්න තමුන්නැහැ හෙට අනිද්ද ගරු අග්ගරාමාත්තිය තානාන්තරේ වැඩ බාරගත් සැණින්ම කොරනේඩ ඕනා බරපතළ රාජකාරිය.
අපි අහගෙන හිටියෙ ඔහේ කට පාඩමින් පැක්ට් ඇන් පිගර්ස් ගෙනහැර පාමින් යහපාලන සමයේ රට සංවර්දනේ කොරපු හැටි පෙන්නා දීපු ලස්සන. අපෙ අම්මෝ රනිල් ඒ ඉලක්කන් විජ්ජාව ඉගෙන ගන්ඩ අපිටත් ඇහැක් වුණානං අපිත් අද ඔහෙලා වගේ රජ පැටව්ම තමා ඉතිං. කිව්වත් වගේ ඔහෙල වගේම රජ බොජුන් වලඳමින්, හිතු මනාපෙ රට රාජ්ජවල සැරිසරමින් යස ඉසුරෙන් පිරුණ සමුර්දිමත් ජීවිතයක් අපිත් යහපාලන කාලෙ ගත කොරපු හැටි මතක්වෙන කොට බෝම්බයක් බඩේ බැඳගෙන දියවන්නාවට කඩාපනින්ඩ තරන් කෝපයක් මතු වෙනවා ආයිබොවන්ඩ. ඒ විතරක්යැ රත්තරනේ, ඔහෙයි අපෙ බුදු මයිත්තිරි උන්නැහැයි පවත්තපු වාද බයිලා තරගෙම වුණත් මොන තරං ලොකු ආදර්සයක්ද අපේ මතු පරම්පරාවට. අනිත් අතට රාජපක්සලා කොරපු හොර මැරකං, වංචා, දූසන එකක් නෑර විබාග කොරලා ආයෙ එහෙම කොරන්ඩ බැරිවෙන විදිහට දීපු දඬුවන් ගැන මතක වෙනකොටත් අපේ සකල සර්වාගම සැලුන් වෙව්ලුන් කනවා බොස් රනිල්-මයිත්තිරි ඩබලගෙ නිර්බීතකොමට.
තමුන්නැහැ ඉතිං වෙන මක්ක නැතත් තුරුම්පු ඇදීම අතිං ගිනස් වාර්තා පිහිටවපු මාර සූරයෙක්නෙ. අපිට කිරිගහට ඇන්න වගේ කියන්ඩ ඇහැකි මේ වංගියෙත් නියම අඩව්වක් අල්ලන්ඩ ලක ලැස්ති වෙන වග. හැබැයි ආයිබොවන්ඩ මෙච්චර කල් ගහපු බඩ පිනුම්, කස්තිරන් දැකලනං අපිට එපා වෙලා තියෙන්නෙ. ඒක හංදා රනිල්, මැදමුලන සමාගමේ මොළගෙඩි හතකින් දුවන බැසිල් යන්තරරාජයත් බකල් ගහල තියෙන මේ ජාමෙ තමුන්නැහැව ගොනාට අන්දලා ඔහෙගේ කර පිටිං ගොඩ යන්ඩයි උන්දැලා සූජානං වෙන්නෙ. ඔය රාජපක්ෂලව ගොඩදාන්ඩ ගිහින් තමුන්නාන්සෙනං අමාරුවෙ වැටෙන්ඩ එපා පුතෝ.. මොකද මේ වෙනකොට රාජපක්සලා සිරිලංකාවට උදා කරල දීලා තියෙන සවුබාගයේ ඉතුරු ටික අහවරක් කොරන්ඩ ඇහැක්කේ තමුන්නැටම විතරම බව අපි  සහසුද්දෙන්ම දන්නා නිසයි●

විශ්ව මිත්‍ර

සබැඳි

Leave a Reply

Your email address will not be published.