ගහල මරලා පුච්චපු ලංකාවේ කතාවක්. “සිරිපතුල” චිත්‍රපටය හදපු කේ. වෙන්කට්ට

ගහල මරලා පුච්චපු ලංකාවේ කතාවක්. “සිරිපතුල” චිත්‍රපටය හදපු කේ. වෙන්කට්ට

ගහල මරලා පුච්චපු ලංකාවේ කතාවක්. “සිරිපතුල” චිත්‍රපටය හදපු කේ. වෙන්කට්ට, සිංහල දේශප්‍රේමියෝ කරපු දේ.
පකිස්ථානයේ සිදුවුණු ශ්‍රී ලාංකිකයාගේ ඝාතනයත් එක්ක ඒ ගැන කිසියම් විරෝධයක් ගොඩ නැගුනා. Shame on Pakistan ( පකිස්ථානය ලැජජයි) වගේ දේවල් ලියවුණා. මම කලිනුත් ලියලා තියෙන විදිහට අපි අනෙකාට ඇඟිල්ල දික් කරනකොට තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි අතීතයේ මේ වගේ දේවල් කරලා නැද්ද? එහෙම නැත්නම් වර්තමානයේ මේ වගේ සංසිද්ධි වලදි මහ මගදි “ මොබ් කල්ලි” විදිහට එකතු වෙමින් නීතිය අතට අරගෙන ඉතා සාහසික විදිහට, නින්දා සහගත ලෙස සුළුතරටය එරෙහිව කටයුතු කරලා නැද්ද කියන එක. මේ මොහොතෙත් ඒ වගේ සිදුවීම් වුණොත් අපි ක්‍රියා කරන්නේ කොහොම ද? ගැටලුවට මැදිහත් වී ඒවා සාමකාමීව විසඳන්නට උත්සහ කරනවා ද? නැතිනම් අර පකිස්ථානයේ වුණු සිදුවීමෙ දි ‍වගේ හැසිරෙනවා ද කියන එක.මේවා නැවත මතක් කි‍රීමෙන් අදහස් කරන්නේ එකක් ඊළඟ පරම්පරාව දැනුවත් කරමින් “ ජාතිවාදය” කියන එක කොයි තරම් නින්දා සහගත එකක් ද ඒවා පිටු දැකිය යුතුයි කියන සමාජ මතය හදන එක. කවුරුත් ජාතිවාදයට විරුද්ධ සම්මුතිගත අදහසකට ගොනු කරන එක.
ලෝකෙම්ම උතුම් ජාතියක් කිව්වට සිංහලයොත් ඉතිහාසයේ ඉතාමත් ම්ලේච්ඡ ලෙස, ජාතිවාදී හැසිරිලා තියෙනවා. මේවා කියනකොට ඒවා කළේ සුළුතරයක් බහුතරයක් නෙමෙයි කියලා බොහෝ දෙනා කියනවා. ඇත්ත. සුළුතරයක් තමයි. හැබැයි ඒ වගේ ජාතිවාදී ලෙස හැසි‍රුණේ නැතත් එහෙම දේවල් සිදුවෙනකොට නිහඬව බලා සිටීමත් එක්තරා විදිහක වැරැද්දක්. ඒවා හෙළා නොදැකීමත් එක්තරා වැරැද්දක්.
කොහොම වුණත් සිංහල සමාජය 1983 දී සිදුවූණු තරම් මහා පරිමාණයෙන් සහ සාහසික පසුකාලීනව ඇති වූ ජනවාර්ග අතර ගැටුම් වලදි ක්‍රියා කළේ නැති බව තමයි පෙනෙන්නට තියෙන්නෙ ඒකට හේතුව පසු කාලීනව ජාත්‍යන්තරයෙන් එල්ලවුණු බලපෑම, ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන සහ පුරවැසි සංවිධාන අරගෙන ගිය මතවාදී බලපෑම. ඒ වගේම යුක්තිය, රාවය වගේ විකල්ප පුවත් පත් සහ සඟරා වලින් ඇති කරපු මතවාදී බල පෑම කියලා හිතන්න පුළුවන්.
දැන් මේ ජුලි කලබලයේ කේ. වෙන්කට් ගේ සිදුවීම මොකක් ද ? අපි කවුරුත් දන්නවා 1947 ප්‍රථම සිංහල කතා නාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවේ ඉඳන් දශක කිහිපයක් යනකම්ම සිංහල සිනමාවේ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, ගායක ගායිකාවෝ, සංගීතඥයෝ සහ කාර්මික ශිල්පීන් විදිහට දෙමළ අය විශාල ප්‍රමාණයක් වැඩ කළා. මුල් කාලයේ සිංහල චිත්‍රපට හදන්න අපේ ශිල්පීන් ගියෙත් දකුණු ඉන්දියාවට. කඩවුණු පොරොන්දුවේ නිෂ්පාදක වූයේ දෙමළ ජාතික සුන්දර මධුර නායගම්ය.
කේ. වෙන්කට් අධ්‍යක්ෂණය කළ “ශ්‍රී පතුල” චිත්‍රපටය ප්‍රදර්ශනය වූයේ 1978 වසරේ දී. ඒ වන විට රූපවාහිනිය පැමිණ නොතිබූ නිසාත් ලංකාවේ බහුතර ජනතාවගේ ප්‍රධාන විනෝදාස්වාදී මාධ්‍ය වුණේ චිත්‍රපටයි. සිංහල චිත්‍රපට පමණක් නෙවෙයි හින්දි සහ දෙමළ ‍චිත්‍රපටත් ලංකාවේ ප්‍රදර්ශනය වුණා. සිංහල, දෙමළ සහ හින්දි චිත්‍රපට හවුස් ෆුල් වෙමින් සහ ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වුණා. බොදු බැතියෙන් උතුරා ගිය ලංකාවේ සිංහල බෞද්ධ ජනයා මේ දෙමළා තැනූ සිංහල චිත්‍රපටය බලන්නට ගියේ වැල නොකැඩී. ඒ චිත්‍රපටයේ එන මොහිදින් බෙග් නමැති මුසල්මානුවා ගයන “ සකල සතම බොදු බැතියෙන්” යන ගීතයත් “ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්‍නේ” ගීතයත් අතිශය ජනප්‍රිය වුණා.
1983 ජුලි මාසයේ කලු ජූලිය ඇවිලෙමින් තිබියදී දෙහිවල කිසියම් ස්ථානයක දී කේ. වෙන්කට් සිංහලයින් පිරිසකට හසුවෙනවා. ඔවුන් කරන්නේ කේ. වෙන්කට්ව මරා ඔහුගේම මෝටර් රිය ඇතුලට දමා ගිනි තැබීමයි. ඇතැම් තැන්වල සඳහන් වන්නේ ඔහු පන පිටින් මොටර් රථය ඇතුලට දමා ගිනි තැබූ බවයි. ඔහු තමන් “ සිරිපතුල” සෑදු කේ. වෙන්කට් යයි කියද්දීත් එය ගණනකට නොගත් මැරයින් ඔහුව මරා දැමූ බව කියවෙනවා. ඇතැම් විට එතැන වෙන්කට්ගේ සිරිපතුල නම් සිංහල බෞද්ධ චිත්‍රපටය බලපු අයත් ඉන්න ඇති.
ඒ විතරක් නොවෙයි හැම භාෂාවකම චිත්‍රපට පෙන්නපු දිවයින පුරා පිහිටි සිනමා ශාලා 12 ක් පමණ ද සිංහල චිත්‍රපට හැදූ, සිංහල චිත්‍රපට වල නෙගටිව් පට ගබඩා කොට තිබූ හැඳල විජය චිත්‍රාගාරයටත් ගිනි තිබ්බා. මේ නිසාම ඇතැම් චිත්‍රපට වල කිසිදු පිටපතක් සොයා ගන්නන බැරි බව කි‍යවෙනවා. දෙමළ ව්‍යාපාරිකයින්ට අයිති වෙලා තිබුණත් මේවායේ හැදුවෙ සිංහල චිත්‍රපට, පෙන්නුවේ සිංහල චිත්‍රපට. ඉතිං ජාතිවාදයෙන් මුලා වුණු සිංහල මොබ් කල්ලි වල ගිනි තැබීමේ ඉතිහාසය අන්න ඒ වගේ. ඒ පිළිබඳ දෘෂ්‍යමය සාක්ෂි තමයි මේ. එකක ඉන්නේ ඒ සුන්දර නිර්මාණ කරු දෙමළ ජාතික කේ. වෙන්කට්. අනිත් ඡායාරූප ජුලි කලබල දවස්වල කොළඹ සහ ඒ අවට සිදුවුණු සිදුවීම්.
– අතුල දිසානායක ( සමාජ කතා )

 


Leave a Reply

Your email address will not be published.