ආයිබොවන්ඩ රමේෂ්..,

ආයිබොවන්ඩ රමේෂ්..,

ඔහේට රන්කිරි කට ගාපු ඇත්තන්ට නං බුදුන් වඳින අත් දෙක උස්සල උදේ හවහා වැන්දට පව් නැහැ දොස්තර මහත්තයො. කැබිනට්ටු පොරකාසක හැටියට මාද්දිය ඔස්තාර්ලා ඉදිරියෙ තමුන්නැහැ පාන වික්‍රම දැක්කහම අපේ දැවෙන පුරස්න ඔක්කොම සුරුස් ගාලා විසඳෙනවා ආයිබොවන්ඩ. වටපිට ඉන්න ඇස්වහ-කටවහකාරයන්ගෙන් පරවේසං වෙන්ඩ මගෙ දෙයියෝ. විසේසෙන්ම මාද්දිය සබාවෙදි ඔහේගෙ දෙපැත්තෙන් අසුන් ගන්න ගිරා පෝතකයන්ගෙන් තමා බරපතළම අනතුර තියෙන්නෙ.
අපේ මාද්දිය මිත්තරයෝ දුස්රා පන්දුවක් දාපු ගමන් උන්දැලා පොඩි තට්ටුවක් දාලා අනිත් පැත්තට මාරුවෙන්න හරිම සූරයෝ. ඊට පස්සෙ එන දඟ පන්දු, වේග පන්දු ඔක්කොටම පේස් කොරන්ඩ වෙන්නෙ තමුන්නැහැට. අපෙ අම්මෝ සමහර වෙලාවට ඔහේ අනවස්සිය පන්දුවලට හයේ, හතරෙ ෂොට්ස් ගහන්ඩ හදන කොට අපේ මයිල් ඉස්මයිල් වෙනවා රමේෂ් ළමයෝ. අපේ ගරු අග්ගරාමාත්තියතුමාගෙ ඉතාලි සංචාරෙ ගැන ඔහේ ඇස් නටව නටවා විස්තර කොරපු දවස මතක ද? උන්නැහැ රාජ්ජිය තාන්තිරික රාජකාරියකට පාප්වහන්සේ මුණගැහෙන්ඩ යන විත්තිය බොහොම ආඩම්බරෙන් පොරකාස කොරපු හැටි මතක ද? එදා නං තමුන්නැහැගෙ විකට් තුනම ගැලවිලා විසිවුණ හැටි දැකලා අපේ පපු කූඩු හෝස් ගාලා පත්තු වුණා.
ඉඳහිටලා එහෙම ලකුණු නොලබාම දැවී ගියත්, දක්ස පිතිකරුවෙක් හැටියට අපෙ සෑර්ගේ කැප්ටන් තානාන්තරේ ආරක්සා කොරල දෙන්ඩ රමේෂ්ගේ පිති හරඹය අප්පරමාන පිහිටක් වෙලා තියෙන බව නං ලෝබ නැතුව කියන්ඩ වටිනවා. අපි නිකමට කල්පනා කරල බලමු අර මහතීර්-ලීකුවාන් ඩබලෙ මොළගෙඩිවලටත් එහා ගිය සූස්තරකාරයෙක් ය කියන අපේ සෑර් ඇදගෙන නාන නෑවිල්ල මොන තරන් සූක්සම විදිහට රමේස් ළමයා ආවරණය කරනව ද කියල. වැඩි අනං-මනං ඕනා නැහැ. පෝර පුරස්නෙ විතරක්ම අරං බලමුකො. මහින්දානන්ද පෝර විරුවාගේ පූර්ණ දායකත්වයෙන් අරඹපු ගිරීන් ඇග්ගිරිකල්චරද මොකක්ද කියන වියාපුරුතියෙ මහමොළකාරයත් ඉතිං අපෙ සෑර්ම නෙ. චීන නැවෙන් හමා එන අසූචි දුර්ගන්දය මොකක් ද කියල හිතෙනවා අම්මපා අපේ රමේස් ළමයගෙ ටිකිරි කටෙන් ගලන සුමිහිරි වාක්කිය රචනා අහන් ඉන්න කොට.
කිව්වට අහිතක් හිතන්ඩ එපා ආයිබොවන්ඩ..? ජාතියේ මහා රණවිරුවා හැටියට අපේ සෑර් රටේ බහුමික අකන්ඩතාවේ ආරක්සා කොරන ආකාරය නං තමුන්නැහැ අගය කොරනවා හොඳටම මඳි. උතුර-නැගෙනහිර සුද්ද කොරලා සෑර් ආරම්බ කොරපු ජාතිය එකලස් කිරීමේ දැවැන්ත කිරියාන්විතය මේ වෙන කොට මොන තරං ඉදිරියට ගමන් කොරලා තියෙනව ද..?  පෝට් සිටියෙන් පටන් ගත්තහම කොළඹ හාබර් එක හරහා කෙරෝලපිටියේ යුගදනවි බලාගාරය දක්වා අපේ වෙරළ තීරය යටපත් කරගෙන හිටපු චීන, ඉන්දියන් හා ඇමරිකන් පරසතුරන්ට අපේ සෑර් ගහල පැන්නුව හැටි ඔහෙලට අමතක වුණත් අපේ මතකයෙන් නං මැකිල යන්න ආයෙ ඉතිං මැරිලම ඉපදෙන්න ඕනා. රමේෂ් ළමයා ඒ ගැන නිකමටවත් මතක් නොකරන එකනං අන්තිම නරකයි.
ඒ වික්කරමය මතු පරපුරේ දැනගැනීම පිණිස හන්දියක් හන්දියක් ගානේ සඳ-හිරු සෑයවල් බඳින්ඩ වටිනවා නේද? ඔහේ ඒ විත්තියක් නිකමටවත් මතක් නොකරන්නෙ නාමල් බේබිලාගෙවත් ඉගැන්නුම් බහකට ද?
ආහ්… වැදගත්ම කාරණේ කියන්ඩ තව චුට්ටෙන් අමතක වෙනවා නෙ රමේෂ්. අර අපේ වෙඬරුවෙ උපාලි නායක උන්නාන්සෙ පාර්තනා කොරපු ආකාරෙටම හිට්ලර් මොඩලෙ මහ විරුවෙක් දැන් මේ දර්මදීපෙට පහළ වෙලා ඉන්න බවත්, ඒ උත්තමයගෙ ගොබෙල්ස් හැටියට වැඩ බලන්නෙ ඔය ළමයා විත්තියත් මාද්දිය පොරකාසකයා වසයෙන් රටටම දැනුම් දීම ඔහේගෙ යුතුකමක් බවත් අමතක කොරන්ඩ එපා හරිය●

විශ්ව මිත්‍ර

Leave a Reply

Your email address will not be published.