ගෑස් වෙන අතකට !

ලිට්‍රො සමාගම අපකීර්තියට පත්කොට, එය විකිණීමේ හෝ වෙනත් නව සමාගමකට මෙරට ගෑස් වෙළෙඳපොළ ලබාදීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවට සැක මතු වී තිබේ.
පසුගිය 02 දා පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු විසින් ද මේ බව අනාවරණය කළේය. මන්ත්‍රීවරයා සඳහන් කළේ ගෑස් පිපිරීම් පිටුපස වෙනත් ව්‍යාපෘතියක් ඇතැයි සැක මතුවන බවයි. සාමාන්‍යයෙන් ගෑස් මෙරටට ගෙනඒමේදී අදාළ විදේශීය රටෙන් මෙන්ම මෙරටට ගොඩබෑමේදී මෙරටින් ද පරීක්ෂණ සිදු කරන බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ලිට්‍රො සමාගම වටිනාකම තක්සේරු කිරීමේ නිවේදනයක් ද ප්‍රකාශයට පත්කොට ඇතැයි හෙළි කළේය. ගෑස්වලට ඇති ඉල්ලුම අඩු කිරීම මෙහි උපක්‍රමයක් ද යන සැකය මතු වන බවත්, වෙනත් සමාගමක් ඊට ආදේශ කිරීමත් සිදු නොවිය හැක්කක් නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර කෙරවලපිටියේ පිහිටි ලිට්‍රො ගෑස් සමාගම් පරිශ්‍රය පසුගිය 22 දා ඉන්දීය ජාතිකයන් පිරිසකගේ පුළුල් නිරීක්ෂණයකට ලක්ව තිබේ. ලිට්‍රො සමාගමේ ඉහළ නිලධාරීන් පිරිසක් ද මේ නිරීක්ෂණයට එක්ව ඇති අතර, ගෑස් පිරවීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් ද ඔවුන් විශේෂයෙන් නිරීක්ෂණය කර තිබේ. ලිට්‍රො සමාගමේ පූර්ණ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ය. එම නිසා අවශ්‍ය ඔ්නෑම අවස්ථාවකදී එම සමාගම හෝ එහි කොටසක් ආයෝජනය සඳහා වෙනත් සමාගමකට විවෘත කිරීමේ අවස්ථාව ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ අතර ලාෆ් ගෑස් සමාගමට අයත් බියගම සහ හම්බන්තොට පරිශ්‍රවලද මේ ආකාරයට ම නිරීක්ෂණ කිහිපයක් පසුගිය මාස කිහිපයේදී සිදුකර තිබේ. එම ගෑස් සමාගමේ ගෘහස්ථ ගෑස් සැපයුම නතර කිරීම සිදු කොට සතියක් ඇතුළත මෙහි මුල් නිරීක්ෂණ කටයුතු සිදුකර ඇත.

සබැඳි

Leave a Reply

Your email address will not be published.