මෙය ජය ගත යුතු අභියෝගයක් !

ප්‍රවීණ ලේඛක ගුණසේන විතාන

ජාතික සමඟිය ගැන කතා කළාට අවංකව ඒ සංකල්පය තුළ ඉන්න පිරිස බහුතරය නොවෙයි. ඉතාමත් ටික දෙනයි. නමුත්, ඒ පිරිස ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒක වෙන්නේ හෙමින්. ජාතික සමඟිය ගොඩනඟන්න නම්, මූලිකව ම අපි හැමෝ ම එකයි කියන එක පිළිගන්න ඕනෑ. අනෙකාගේ සංස්කෘතියට ගරු කරන්න තරමට අපි දියුණු වෙන්න ඕනෑ. එහෙම නැතිව ජාතික සමඟිය ගැන කතා කරන එක ව්‍යාජයක් විතරයි.

■  පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගැන මොක ද හිතන්නේ ?

ඇත්තට ම මේ ප්‍රතිඵලය සංකීර්ණ, ඒ වාගේ ම මේ රටේ ප්‍රගතිශීලීන්ගේ පාර්ශ්වයෙන් සලකලා බැලුවා ම අභියෝගාත්මක ප්‍රතිඵලයක්. හැත්තෑඑක් වසරක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ අපි අත්විඳපු දේවල් සමඟ සලකලා බලන විට සමාජයක් විදියට අපි අත්කරගෙන තියෙන ජයග්‍රහණ අල්පයි. එහෙම වුණේ ම දේශප්‍රේමය මුවාවෙන් එන අවස්ථාවාදීන්ගේ අරමුණු තේරුම් ගැනීමට ජනතාව අපොහොසත් වීම නිසා. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දිහා බැලුවා ම අපට තේරුම් ගන්න තියෙන්නේ ඒ ටික ම තමයි.

■  මෙවර ජනාධිපතිවරණයේදී ‘රට බේරා ගනිමු’ කියන පාඨය තමයි, ප්‍රධාන තේමාව බවට පත් වුණේ. එතකොට ඒ අය සැබෑ දේශප්‍රේමීන් නොවෙයිද?

මේ රට බරපතළ විදියට අර්බුදයට පත් කරපු, ණයගැතිභාවයට ඇද දමපු, දූෂණ චෝදනා, මිනීමැරුම් චෝදනා වාගේ විශාල චෝදනා ප්‍රමාණයක් තිබෙන පාර්ශ්වයක කෙනෙක් තමයි, මෙවර අපේ රටේ ජනාධිපති වුණේ. රටේ සම්පත් විකිණීම, ජනතා මුදල් සොරකම් කිරීම සම්බන්ධ චෝදනා ඒ අයට තියෙනවා. ඒවා චෝදනා විතරක් ම නොවෙයි. ඔප්පු වෙලත් තියෙනවා.

රටේ සම්පත් විජාතිකයන්ට විකිණීම, ජනතා මුදල් ගසාකෑම දේශප්‍රේමීත්වයක් වෙන්නේ කොහොම ද? දේශප්‍රේමීත්වය මුවාවෙන් දේශපාලන පවුල් ගස් හැදෙන එක තමයි වෙමින් තියෙන්නේ.  ඒ හරහා අපරාධ රැල්ලකට ඉඩහසර නිර්මාණය වීම අපට දකින්න පුළුවන්.

■  එහෙම නම්, ඇයි ජනතාව ඒ අයම බලයට පත් කරන්නේ ?

ඒක බරපතළ ප්‍රශ්නයක්. ඒකට බලපාන ප්‍රධාන ම සාධකයක් තමයි, අධ්‍යාපනය. නිර්මාණශීලී චින්තනය මොට කරපු අධ්‍යාපන ක්‍රමයක් තුළින් තර්කානුකූලව හිතන ප්‍රජාවක් බිහි වෙන්නේ නැහැ. අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ, බටහිර වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයට අවශ්‍ය පුද්ගලයන් නිර්මාණය කරන අධ්‍යාපන ක්‍රමයක්.

මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කන්නන්ගර මහත්මයා ගෙනාපු යෝජනාව ඇරුණුකොට අපේ රට ගැන අනාගත පරපුර ගැන හිතලා, ක්‍රියාත්මක වුණු වැඩදායී යෝජනාව මොකක් ද? අපේ සම්පත්වලින් අපි ප්‍රයෝජන ගන්න හිතන, ස්වාධීන සංවර්ධනයක් ගැන හිතන සමාජයක් බිහි කරන්න මේ අධ්‍යාපන ක්‍රමයට හැකියාවක් ඇත්තේ නැහැ.

මේ ව්‍යාජ දේශප්‍රේමීත්වයට මුවා වෙලා ක්‍රියාත්මක කරන්නේ, ඒ බටහිර ප්‍රාග්ධන වෙළෙඳපොළට අවශ්‍ය දේවල් ම තමයි. මේ හානිදායක තත්ත්වය කැඳවීමට ආගමික නායකයනුත් විශාල කාර්යභාරයක් ඉටු කළා.

අවස්ථාවාදය කියන ධනපති ක්‍රමයට අයත් උපන්ගෙයි ලක්‍ෂණයට අපේ ජනතාවත් නොදැනී ම ගොදුරු වෙනවා. ඔවුන් ඒ වෙලාවේ වාසිදායකයි කියන පාර්ශ්වය බලයට පත් කරන්න පෙළැඹෙන්නේ ඒ අවස්ථාවාදය නිසා. ඇත්තට ම දේශප්‍රේමීත්වය කියන්නේ, වමේ දේශපාලනයට අයත් සංකල්පයක් මිසක් දක්‍ෂිණාංශික දේශපාලනයට අයත් සංකල්පයක් නොවෙයි. මේ අය කරන්නේ ඒ වමේ සංකල්පය භාවිත කරලා බලයට එන එක විතරයි.

රටේ ජනතාව මේ ධනේශ්වර දේශපාලන ක්‍රමයට විකල්ප, ශක්තිමත් වමේ විපක්‍ෂයක් ගොඩනඟන්න කටයුතු කරන්න ඕනෑ.

■             ඒක මැතිවරණ ඉලක්ක කරගෙන කළ යුතු දෙයක් නොවෙයි නේ ද?

ඒක නිවැරැදියි. ඇත්තෙන් ම අද පැවැත්වෙන මැතිවරණ කියන්නේ, සම්පූර්ණයෙන් ම බොරුවක්. මැතිවරණයට පෙර ජනමතයට බලපෑම් කරන ව්‍යාජ මත පතුරුවලා පවත්වන මැතිවරණයක් සාධාරණ වෙන්නේ කොහොම ද?

අපට ඕනෑ කරන්නේ ගැඹුරු, විද්‍යාත්මකව ගොඩනඟපු සංස්කෘතික ප්‍රතිපත්තියක්. ශ්‍රමය මූලික කර ගත්ත සංස්කෘතියක්. එහෙම ප්‍රතිපත්තියකින් තමයි, විද්‍යාත්මක මිනිසා ගොඩනඟන්න පුළුවන් වෙන්නේ.

දියුණුයි කියන මේ සමාජයේ බුද්ධිමත් කියන ජනතාව තවමත් මිථ්‍යා මත සහ අභව්‍ය දේවල් විශ්වාස කරනවා. රටේ තරුණ පරපුර නියෝජනය කරන්නේ, නව සංස්කෘතියක් කිව්වාට ඒ නව සංස්කෘතිය කියන එක ඇතුළේ අර පසුගාමී මිථ්‍යාවන් නඩත්තු කරනවා. ඒක විකෘති තත්ත්වයක්.

■  එවැනි දියුණු සංස්කෘතික ජීවිතයක් සඳහාවූ වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළත්, ජනතාව ඒක ප්‍රතික්‍ෂේප කර තිබෙනවා නේද?

නැහැ. ප්‍රතික්‍ෂේප කරනවා කියලා මම හිතන්නේ නැහැ. ඒ වැඩපිළිවෙළ අවධානයට ලක් වීම අඩු වුණා කියලා තමයි, මම හිතන්නේ. ඒ වැඩපිළිවෙළ තේරුම් අර ගැනීමේ ඉඩක්, අවබෝධයක් ජනතාවට තිබුණේ නැහැයි කියලා මම හිතනවා. ඒක කනගාටුවට කරුණක්. ජාතික ජන බලවේගය ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ තුළ තිබෙන්නේ ඔබ කිව්වා වාගේ ම විද්‍යාත්මක සංස්කෘතියක් (ීජසැබඑසසෙජ ක්‍මකඑමරු) කියන වැඩපිළිවෙළ තමයි. ඒක තේරුම් ගන්න තරමට ජනතාවටත් විවේක බුද්ධිය තියෙන්න ඕනෑ.

■  මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජාතික සමඟිය යෝජනා කළත්, මැතිවරණ ප්‍රතිඵල දිහා බලන කොට ජාතිකත්වයන් අතර බෙදීම වර්ධනය කරන තත්ත්වයක් පෙන්නුම් කරනවා නේද?

මගේ මුල් ම කෙටිකතාව වන ‘පාලම’ කෙටිකතාවට මේ වෙන කොට අවුරුදු පනහක් වෙනවා. ඒක භාෂා දහසයකට පරිවර්තනය වුණා. ඒ කතාවෙන් කියන්නේ ජාතික සමඟිය ගැන. ඊට පස්සේ මම පොත් දහසයක් විතර ලියලා තියෙනවා. ඒ හැම එකක ම තේමාව වුණේ ජාතික සමඟිය.

සමහරු අහනවා මගෙන් ඒ ගැන ම ලියන්නේ ඇයි කියලා. ඉතින්, මට ඕනෑ ඒක තමයි. මට ඕනෑ මේ රටේ හැම රටවැසියෙක් තුළ ම ලාංකීය කියන චින්තනය ඇති කරන්න. ඉතින් මම ඒ වෙනුවෙන් ලියනවා.

ජාතික සමඟිය ගැන කතා කළාට අවංකව ඒ සංකල්පය තුළ ඉන්න පිරිස බහුතරය නොවෙයි. ඉතාමත් ටික දෙනයි. නමුත්, ඒ පිරිස ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒක වෙන්නේ හෙමින්. ජාතික සමඟිය ගොඩනඟන්න නම්, මූලිකව ම අපි හැමෝ ම එකයි කියන එක පිළිගන්න ඕනෑ. අනෙකාගේ සංස්කෘතියට ගරු කරන්න තරමට අපි දියුණු වෙන්න ඕනෑ. එහෙම නැතිව ජාතික සමඟිය ගැන කතා කරන එක ව්‍යාජයක් විතරයි.

■  ජාතිවාදය කියන එක සම්බන්ධයෙන් ඔබගේ පැහැදිලි කිරීම මොකක්ද?

විකෘති මනෝභාවයක්. ඒ විතරක් නොවෙයි. ඒක ප්‍රතිගාමීන්ට සේවය කරන අදහසක්. අවුරුදු දහස් ගණනක් තිස්සේ අපි මේ ප්‍රතිගාමී චින්තනයෙන් ගැලවෙන්නේ නැතිව අද දක්වා ම එනවා. කෙනෙක් ජාතිවාදියෙක් වෙන්නේ ඒ කෙනා තුළ අංගසම්පූර්ණ මනුෂ්‍යත්වය නැති නිසා. ඒක සිංහල, මුස්ලිම්, දෙමළ ඕනෑ ම ජාතිවාදී අදහස් දරන කෙනකුට පොදු කාරණයක්.

මේ රටත්, ජනතාවත් දරිද්‍රතාවට ඇද දමපු නායකයෝම ඒ දරිද්‍රතාවම නැවත බලයට පත්වීම සඳහා මැතිවරණ පොරොන්දුවක් බවට පත් කර ගන්නවා දකින්න පුළුවන්. මේ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන්න.

ඔබ ඔය අහපු ප්‍රශ්නය ම අප්‍රිකානු රටවල වාගේ ම ආසියානු රටවල ජනතාව පත් කරලා තියෙන අසරණකම පිළිබිඹු වෙන කරුණක් කියලා තමයි, කියන්න වෙන්නේ.

මම ඉන්දියාවේ ගිය වෙලාවක මදුරාසියේ ඡන්දයක් තිබුණා. මම එහි කාන්තාවකගෙන් ඡන්දය ප්‍රකාශ කළා ද කියලා නිකමට ඇහැව්වා. ඒ කාන්තාව කියනවා, “ඡන්දය දෙන්න මට තාම සාරිය හම්බ වුණේ නැහැ” කියලා. ඡන්දය දුන්නොත්, සාරියක් දෙනවා කියලා එහේ දේශපාලකයෙක් ඒ කාන්තාවට කියලා තියෙනවා. ඒ එක්දහස් නවසිය හැටඅටේ දී.

දැන් අවුරුදු පනහක් ගත වෙලා අපේ රටේ තවමත් ඒ දේ සිද්ධ වෙමින් තිබෙනවා (සිනා).

දැනට ජයග්‍රහණය කරලා ඉන්න ගෝඨාභය රාජපක්‍ෂට මැතිවරණ වේදිකාවේදී දීපු පොරොන්දු ඉෂ්ට කරන්න හැකියාවක් තියෙනවා කියලා හිතන්න පුළුවන්ද?

කොහෙත් ම බැහැ.

ඇයි එහෙම කියන්නේ ?

එයාලාගේ දේශපාලන පදනම ශක්තිමත් එකක් නොවෙයි. අනෙක එයාලාගේ පුද්ගල පදනම වාගේ ම ඔවුන්ගේ අරමුණත් ඔය දේවල් ඉෂ්ට කරන්න බාධාවක් වෙනවා. ඔවුන්ගේ අරමුණ රට ගොඩනැඟීම නොවෙයි. එයාලාගේ පෞද්ගලික අරමුණු ඉෂ්ට කර ගැනීම විතරයි.

ඔවුන් ඔය තරමට ධනවතුන් වුණේ කොහොම ද? ව්‍යාපාර කරලා ද? නැහැ. දේශපාලනය කරලා.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වුණේ මොන සුදුසුකමකට ද? මේ රට මේ තත්ත්වයට පත් කිරීම සම්බන්ධව පැරැණි වමේ ව්‍යාපාරයත් වග කියන්න ඕනෑ. අනෙක එක අතකින් ගත්තා ම මේ රටේ ජනතාවගේ සාක්‍ෂරතාව ගැන ප්‍රශ්නයකුත් එනවා. සාක්‍ෂරතාව කියන්නේ, අකුරු කියැවීමේ, ලිවීමේ හැකියාව විතරක් නොවෙයි. දේශපාලන සාක්‍ෂරතාව කියන්නේ වෙනම ම එකක්. මොන තරම් චෝදනා තිබුණත්, යුද්ධය ඉවර කළා නේ කියලා ඡන්දය දෙන්න ජනතාව පෙළැඹිලා තියෙන්නේ සාක්‍ෂරතාව පිළිබඳ ප්‍රශ්නය නිසා.

■    සංවාද සටහන

                කිත්සිරි කොඩිතුවක්කු

සබැඳි

Leave a Reply

Your email address will not be published.