පොහොර තීරණයේ වරද නිලධාරීන් පිට පැටවීමේ උත්සාහයක් !

රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ ආණ්ඩුව හෝ විෂය භාර අමාත්‍යවරයා හෝ වගකිව යුතු නැති බවත්, ඉහළ දේශපාලනාධිකාරීන්ට උපදෙස් ලබාදීමේදී එය නිවැරදි ආකාරයට කළ යුතුව ඇති බවත් ලේකම්වරයා සඳහන් කර තිබේ. ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට තමන් ද දායක වූ බව පවසන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔවුන්ට අවශ්‍ය වූයේ විෂ කෘෂි රසායනික පොහොර භාවිත කරන සංස්කෘතියක සිට විෂ රහිත ගුණත්වයෙන් ඉතා ඉහළ පැළෑටි පෝෂක භාවිතය හදුන්වාදීම බවයි.
එම නිසා, කෘෂිරසායනික භාවිතය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනවා වෙනුවට ඉහළ ගුණත්වයෙන් යුතු පරිසර හිතකාමී පැළෑටි පෝෂක ආනයනයට අවසර දිය යුතු යැයි ඔහු පෙන්වා දී ඇත.
ලේකම්වරයා එසේ පැවසුවද, පසුගිය කාලය පුරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිගින්-දිගටම පැවසුවේ කෘෂි රසායන සහ රසායනික පොහොර ආනයනය සීයට සීයක් දක්වා නතර කිරීම තම ඉලක්කය බවත්, කුමන බාධක පැමිණියත් එය ඉටුකරන බවත් ය. එසේම මීට පෙර කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරූ රෝහණ පුෂ්පකුමාර එම තනතුරින් ඉල්ලා අස්වූයේ මේ සම්බන්ධයෙන් විෂය භාර ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සමග ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වී ඇති බරපතළ අප්‍රසාදය සමනය කරගැනීම සඳහා එය නිලධාරීන්ගේ පිටින් යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවත්, ලේකම්වරයාගේ මේ ප්‍රකාශය එහි ආරම්භක පියවරක් විය හැකි බවත් ය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.