ලංකාව වගේ රටවල ඇයි පාවුලෝ වගේ තරුණයො බිහි නොවෙන්නෙ?

Read Time:9 Minute, 2 Second

පාවුලෝ පාවුලිනෝගේ මතකය වෙනුවෙන්.. ( Paulo Paulino)
මේ පොඩි එකා ඉපදෙන්නෙ 1993දි බ්‍රසීලයේ මරන්හාඕ ( Maranhao) නම් පලාතෙ. ඒ පලාත තියෙන්නෙ බ්‍රසීලයේ උතුරු නැගෙනහිරට වෙන්න.
මේ ප්‍රදේශය එක පැත්තකින් මායිම් වෙන්නෙ අපි කවුරුත් දන්න ඇමේසන් වනාන්තරයට .. අනිත් අතින් අත්ලාන්තික් සාගරයට.
පාවුලෝ අයිති වෙන්නෙ ගුආජාජාරා ( Guajajara) කියන ගෝත්‍රයට.
මේ ගෝත්‍රය ..වැදි ජනයාටත් සාමාන්‍ය බ්‍රසීල පුරවැසියන්ටත් අතර මුල් පදිංචි කරුවන්ට අයිති මිනිසුන් පිරිසක්.
මේ අයගෙ ජනගහනය 28000 ක් වගේ සුළු පිරිසක්.
අපි දන්නව ඇමේසන් වනාන්තරය කියන්නෙ ලෝකයේ පෙනහළු කියල.
ලෝකයේ තියන විශාලම ප්‍රාථමික වනාන්තර දහයෙ පලවෙනි තැන ඇමසෝන් වනාන්තරයට ලැබෙද්දි ..අපේ ලංකාවෙ සිංහරාජෙටත් ස්ථානයක් ලැබෙනව.
මේ පුංචි දූපතේ “සිංහරාජය” නමවෙනි තැන තියනව දකින හැම තිස්සෙම මට පුදුම සතුටක් දැනෙනව.
අනිත් කාරණේ අපි දන්නව ඇමේසන් වනාන්තරය අණතුරේ තියෙන්නෙ කියල.
හැම විනාඩියකටම සැරයක් ..පාපන්දු ක්‍රීඩාංගන තුනකට සමාන භූමි ප්‍රමාණයක ඇමේසන් කැලේ එලි වෙනව.
අතිශෝක්තියක් නෙවේ ..ඔබ මේ අකුරු මේ කියවන මොහොතෙදිත් ..මහා ගස් බිමට ඇද වැටෙනව.
1980 ඉඳල අද වෙද්දි මුළු කැලේ ප්‍රමාණයෙන් 20% ප්‍රමාණයක් කපල එලි කරල ඉවරයි.
ගුආජාජාරා මිනිස්සුන්ට මේ විනාසෙ බලන් ඉන්න බෑ. ඒ කැලේට ආදරේ මිනිස්සු.
ඒ නිසා කැලේ ආරක්ශකයො ( Gardians of Forest) නමින් මේ අය නිල නොවන හමුදාවක් ආරම්භ කරනව 2012 දි.
2019 බලයට ආපු බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ මේ විනාශය තවත් සීඝ්‍ර කරා. ( Jair Bolsanaro)
ඒ කූඨ දේශපාලකයෙක් .. ව්‍යාපාරිකයෙක් මිස ගහට කොලට.. රටට ආදරේ මනුස්සයෙක් නෙවේ.
ඡ්න්ද පොරොන්දු ඉශ්ඨ කරන්න මේ මනුස්සයා ඇමේසන් කැලේ කෑලි කෑලි වලට කඩල මිනිස්සුන්ට බෙදනව. මිනිස්සුන්ට කීවට වැඩි කොටස දූශිත ව්‍යාපාරිකයන්ට‍යි දේශපාලන හිතවතුන්ටයි.
බලන්න දුක හිතෙන තරමට මේ කැලේ ගිනි ගන්නව මේ මොහොතෙදිත්.
එක කොටසක් දුන්නම ඒ මායිම හරහා කැලේට යන බ්‍රසීලියානුවො කැලේ ඇතුලෙ තියන ගස් ඔක්කොම කපල ගිනි තියනව වගා බිම් හදන්න විතරක් නෙවේ.. දැව ජාවාරම් කාරයන්ට ගස් විකුණන්න.
මේ නිසයි ගුආජාජාරා මිනිස්සු සටනට බහින්නෙ.
ඒ අයට තුවක්කු බෝම්බ නැහැ. තියෙන්නෙ තමන් හදාගත්ත දුනු ඊතල විතරයි.
කැලේ කපන කඩ කාරයො ඉන්නෙ නවීන තුවක්කු .. ආරක්ශක භටයො තියාගෙන.
අවුරුදු දාසයේදීම පාවුලෝ සටනට බහිනව. තමංගෙ මිනිස්සු වෙනුවෙන් විතරක් නෙවේ මුළු ලෝකෙම වෙනුවෙන්. මේ මිනිස්සු දන්නව මේ කැලේ නැතුව මිනිස්සුන්ට පැවැත්මක් නැති බව.
පාවුලෝත් එක්ක ඉන්න කන්ඩායමේ 25-30 ක් විතර ඉන්නව. ( මේ වගේ කණ්ඩායම් ගණනාවක් මේ වෙද්දිත් කැලේ මැද්දෙ පුළුවන් විදිහට සටන් කරනව)
මේ පොඩි එකා ඉක්මනින්ම තමං හිටපු කණ්ඩායමේ නායකය වෙනව.
පාවුලෝගෙ අම්ම පහු කාලෙක කියනව..
“ඔව් මං දන්නව .. පාවුලෝ මට කිව්ව. කැලේ කපන… සත්තු මරණ… යක්ශයින්ට පාවුලෝගෙන් සමාවක් නෑ.” “උන්ට නීතිය නැත්තං අපිටත් නීතිය ඕනෙ නෑ. මගෙ පොඩි එකා ඒ හොරුන්ට ඊ තල විදිනව. වැදිල මැරුණම උංගෙ සිරුරු කැලේම වලලනව. මං දුක් වෙනවද නෑ. ඌ සටන් කරන්නෙ අපි ඔක්කොම වෙනුවෙන්.”
“මගෙ පොඩි එකා සති ගනන් කැලේ ඉද්දි නම් මම දුක් වුනා… දකීන්න නැති නිසා”
පාවුලෝ ඉක්මනින්ම මේ කැලෑ පාළුවන්ටත් .. දූශිත දේශපාලකයින්ටත් හිස රදයක් වෙනව. ඒ එක්කම සමාජ මාධ්‍යට ස්තුති වෙන්න පාවුලෝ ලෝකෙ පුරාම ජනප්‍රිය වෙනව.
ඔව් පාවුලෝ මගෙ ෆේස්බුක් මිත්‍රයෙක්ව හිටිය.
තමන්ගෙ සමාජ මාධ්‍ය ගිනුම හරහා කැලේ පිංතූර වගේම.. මූණ පාට කරගෙන දුණු ඊතල එක්ක සටන් කරන්න ලෑස්ති තමන්ගෙ මිනිස්සුන්ගෙ පිංතූරත් පාවුලෝ ලෝකෙට ප්‍රසිද්ධ කරනව.
පාවුලෝ හරහා ලෝක අවධානය බ්‍රසීලය දිහාට ඇදෙන දකින බ්‍රසීල මාෆියාව බය වෙනව. ඒ නිසාමයි .. මහා නිල නොවන මාෆියා හමුදාවක් පාවුලෝගෙ ජීවිතේට ඔට්ටු තියන්නෙ.
නමුත් මුවෙක් වගේ කැලේ මැද්දෙ දුවන මේ පොඩි එකාව අල්ලන එක ලේසි නෑ.
2019 නොවැම්බර් පලවෙනිද අන්තිමට මාෆියාව සාර්ථක වෙනව.
පාවුලෝ ජීවිතේ දෙන්නෙ කැලේ වෙනුවෙන් නෙවේ.. මිනිස්සුන්ගෙ හෙට දවස වෙනුවෙන්.
ඇයි මම මේ වගේ කතා මගෙ පිටුවෙ නොලියන්නෙ.
හේතුව.. ලංකාවෙ කොටසක් ඉන්නව…. “ආ අපි විතරක් නෙවේ උනුත් කැලෑ කපන්නෙ..”
“අපි විතරක් නෙවේ බ්‍රසීල මිනිස්සුත් වගා කරන්න කැලේ කපන්නෙ” කියන්න ලෑස්ති වෙලා ඉන්න. “උන්ට හොඳ නම් අපිට මොකද හොඳ නැත්තෙ” කියල තවත් පිරිසක් අහනව.
තව පිරිසක් ඉන්නව “ලෝක බලවත්තු මොනවද කරන්නෙ ” අහන.
අනිත් අතින්…. ප්‍රශ්ණ වලින් හෙම්බත් වෙලා ඉන්න ලංකාවෙ මගේ මිත්‍රයන්ට මේ වගේ අහන්න අමාරු කතා කියවන්න දීල තවත් දුක දෙන්නෙ මොකටද කියල හිතෙනව.
රටක අභ්‍යන්තරයට මැදිහත් වෙන්න තවත් රාජ්‍යකට බෑ. රාජ්‍ය නොවන සංවිධානයක් ආවොත් එන් ජී ඕ කාක්කො කියල කෑ ගහන්නෙ ලංකාවෙ විතරක් නෙවේ.
අමතක කරන්නෙ කොහොමද කපල ගිනි තියපු ජල ගැලුම් නිම්නය.
වගා කරන්ට අපිට ඉඩම් දියව් .. මේ අපේ උපන්බිම කියල රක්ශිත කැලේ කපන්න ඉදිරිපත්වුණු සිංහරාජෙ අවට සමහර මිනිස්සු.
… ලංකාවෙ පරිසර වේදියොයි.. එක්සත් ජාතීන්ගේ සංවිධානයි නොඉන්න අද සිංහරාජෙත් අවසන් ගමනෙ.
ලංකාව වගේ රටවල ඇයි පාවුලෝ වගේ තරුණයො බිහි නොවෙන්නෙ.?
මැරෙන්න නෙවේ.. නමුත් තමංගෙ කැලේ වෙනුවෙන් පෙනී ඉන්න.
අනිත් අතට එදා වේල වෙනුවෙන් .. අකුරක් ඉගෙන ගන්න ඉස්කෝලෙ යන්න… කීයක් හරි හොයා ගන්න සටන් කරන මිනිස්සුන්ගෙන් කැලේ රකින එක ගැන අහන එක අසාධාරණයි.
මට දේශපාලනයක් නෑ… නමුත් හිතට අමාරුයි මේ කැලේ කපන හැටි දැක්කම.
2019 සැප්තැම්බර් වලින් පස්සෙ පාවුලෝගෙ ගිණුම නිහඬයි.
පාවුලෝ නිහඬ වෙද්දි .. එයාට අවුරුදු 26 යි.
උඹව අමතක නෑ පාවුලෝ … උඹ මගේ ලෝකෙ වීරයෙක්.
..
ලෝකෙ විශාලතම ප්‍රාථමික වැසි වනාන්තර දහය.

  1. ඇමේසන් වනාන්තරය. බ්‍රසීලය ( Amazon )

2.කොන්ගෝ ප්‍රාථමික වනාන්තරය. -කොන්ගෝ. ( Congo )

  1. බොසාවා – නිකරගුවා ( Bosava)

4.ඩේන්ට්‍රී. – ඕස්ට්‍රේලියාව ( Daintree)
5.දකුණු ඊසාන දිග ආසියානු වනාන්තර- ඉන්දුනීසියාව. ( South East Asian Rain Rorest)
6.ටොන්ගාස් වනාන්තර- ඇලස්කාව. / ඇමරිකා එක්සත් ජනපදය. ( Tongas)

  1. කිනබාලු වනාන්තර – මැලේසියාව ( Kinabalu)

  2. මොන්ටෙවර්ඩ් වලාකුළු වනාන්තර – කොස්ටරිකා
    Monteworld clouds.

  3. සිංහරාජ වනාන්තරය – ශ්‍රී ලංකාව. ( Sinharaja)

10..වැල්දිවියාන් වනාන්තර – චිලී.. ආර්ජන්ටිනාව. ( Valdivian Rain Rorest)
ඇමේසන් වනාන්තර විනාශය.. සටන් කරන මුල් පදිංචි කරුවන් ගැන…ගුආජාජාරා මිනිසුන් ගැන තව දුරටත් දැන ගන්න ඕනෙ නම් දවසක ලියන්න පුළුවන්.
නමුත් ඒ සතුටු හිතෙන කතා නෙවේ.
– Malcolm Sang (fb)

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post යුද්ධය: ඇමෙරිකාවට වියදමක් ද? ආයෝජනයක් ද? – 03
Next post හොඳයි, මට පේනවා ඔබලා බිඳපු බිත්තර. ඒත් කෝ ඔබලාගේ ඔම්ලට් එක ?