සුන්දර ඡන්ද පොරොන්දු යට ඇති අතුරු සම්මත ගිණුම

මේ දවස්වල මැතිවරණ වේදිකාවේ සජිත් – ගෝඨාභය දෙදෙනා උනුන් පරයා මැතිවරණ පොරොන්දු දෙන හැටි කාටත් පැහැදිලිය. වී ගොවියාට පොහොර නොමිලේ දෙන බව ගෝඨා කීවා ම, සජිත් කියන්නේ, සියලු ම ගොවීන්ට පොහොර නොමිලේ දෙන බවය. මේ ආදී වූ ලැයිස්තුව දිගය. පත්තරේ ඉඩ ඒ එකිනෙක කීමට වෙන් නොකළ යුතුය. කාටත් පැහැදිලිය. ජවිපෙ විජිත හේරත් මේ පොරොන්දු ගැන අපූරු කතාවක් කියා තිබිණි.

පවුලේ කෙනකු රෝගී වූ විට හෝ වෙනත් අතුරු ආන්තරාවකට ලක් වූ විට හෝ දෙවියන්ට බාරහාර වන්නේ රූපයට රූපයක් දෙන බව කියාය. එළැඹී තිබූ අතුරු ආන්තරාවෙන් මිදුණු කල හෝ රෝගයෙන් සුවපත් වූ කල බාරහාර ඔප්පු කරන්නේ ය. රූපයට රූපයක් කියා දෙවියන්ට දෙන්නේ මොකක් හෝ කුරුටු බලියක් අඳින ලද පරණ තහඩු කෑල්ලක්ය. දෙවියන් ද ඒ රූපය භාරගෙන කරබාගෙන ඉඳින්නා සේය. ඡන්දය කාලයට මේ දෙගොල්ලන් ම කළේ මේ ටිකය. ඡන්දදායකයාට කීවේ රූපයට රූපයක් දෙන බවය. අන්තිමට මළකඩ පරණ තහඩු කෑල්ලක තරමේ දෙයක්වත් ඇත්තේ නැත. විජිත හේරත් මන්ත්‍රීවරයා පැහැදිලි කළේ මේ බවය.

මේ දිනවල සජිත්ගේ සහ ගෝඨාගේ මැතිවරණ වේදිකාවල දී දිගහැරෙන්නේ රූපයට රූපයක් දෙන බව කියන මේ වැනි පොරොන්දුය. සජිත් ප්‍රේමදාසගේ පැත්තෙන් ඊට අමතර දේවල් ටිකක් ද එකතු කර තිබේ. ඒ රාජ්‍ය බලය උපයෝගී කරගෙනය. ලබන වසරේ මුල් මාස හතරට අදාළව ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කිරීම්ය. මැතිවරණ නීතිවලින් ද රිංගා ගොස් ඒ පොරොන්දු දී තිබේ.

ඒ අතුරින් කීපයක් මෙසේය: රාජ්‍ය සේවකයන්ට ලබා දෙන ආපදා ණය රුපියල් ලක්ෂ දෙකේ සිට ලක්ෂ තුනහමාර දක්වා වැඩි කර එම පොලිය සියයට 4.2 සිට 3.0 දක්වා පහත හෙළීම, රාජ්‍ය සේවයේ සුළු සේවකයන්ට ලබා දෙන පාපැදි ණය මුදල රුපියල් 6,000.00 සිට 10,000.00 දක්වා ඉහළ දමා එම පොලිය ද සියයට 3.0 දක්වා අඩු කරන බව කියැවේ. මෙය කොතරම් අඳබාල පොරොන්දුවක් ද? මේ දෙපිරිසම රාජ්‍ය සේවකයන්ට බදු සහන යටතේ ස්කූටර් ලබා දුන් අතර, දැන් පාපැදියට සහන දීම තේරුම් ගත යුත්තේ කොතරම් මරිමෝඩ වැඩක් ද යනුවෙනි. එහෙත්, මේ මරිමෝඩ දේවලටත් රැවටෙන පිරිසක් ඉන්නා බව පාලකයෝ හොඳාකාරව ම දනිති.

තවත් කීපයක් මෙසේය: සුළු සේවක නිල ඇඳුම් දීමනාව රුපියල් 5.000.00ක් දක්වා වැඩි කිරීම රක්ෂණ භාර අරමුදලෙන් වසර තුනකට වරක් ලබා දෙන ඇස් කණ්ණාඩි දීමනාව රුපියල් 5,000.00 සිට 8,000.00ක් දක්වා වැඩි කිරීම යනාදිය පොදුවේ රජයේ සේවකයන්ට ඇත. ග්‍රාම නිලධාරීන්ට විශේෂ අවධානය යොමු කර තිබේ. මහා නගර සභා සහ නගර සභා බලප්‍රදේශවල ඔවුන්ගේ කාර්යාල දීමනාව රුපියල් 1,500.00ක් දක්වා ඉහළ දැමීම. අනෙකුත් පළාත් පාලන ආයතනවල එය රුපියල් 500.00 සිට 1,000.00ක් දක්වා ඉහළ දැමීම, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රුපියල් 1,500.00ක් කිරීම, නිල ඇඳුම් දීමනාව රුපියල් 5,000.00ක් සහ සන්නිවේදන සහ ගමන් වියදම් සඳහා රුපියල් 5,000.00ක් ලබා දීම වශයෙන්ය.

ත්‍රිවිධ හමුදාවල ආබාධිත වූවන්ට සම්පූර්ණ වැටුප විශ්‍රාම වැටුපක් සේ ලබා දී ඔවුන්ගෙන් පසුව යැපෙන්නන්ට ද එය ලබා දීම, පොලිසියේ වැටුප් සියයට 238ක් දක්වා වැඩි කිරීම, ඔවුන්ගේ සංයුක්ත දීමනාව දැනට පවතින දින 14ක සීමාවේ සිට දින 20ක් දක්වා ඉහළ දැමීම යනාදිය පවතී. මේ දැක් වූයේ නිදර්ශන කීපයක්ය. රූපයට රූපයක් දෙන බවට වන පොරොන්දුවල තවත් දිග ලැයිස්තුවක් ඇත. කොහො ම වුණත්, මේ පොරොන්දු දී තිබෙන්නේ, මහජනතාවගෙන් රජයේ සේවකයන් ඉලක්ක කරගෙනය. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉලක්ක කරගෙනය.

මේ දෙදෙනාගේ ඡන්ද පොරොන්දු යථාර්ථයක් කරන්නේ නම්, දැරීමට සිදු වන අමතර වියදම් පිළිබඳව ආචාර්ය වින්සන්ට් මර්වින් ප්‍රනාන්දු ජාතික පුවත්පතකට ඉතා සංක්ෂිප්තව පැහැදිලි කර තිබුණේ ය. පහත වගුවේ ඒ බව දැක් වේ. එහි සඳහන් පරිදි පොහොට්ටු අපේක්ෂකයා දී තිබෙන හම්බන්තොට වරාය නැවත පවරා ගැනීමේ වියදම ගණනය කිරීමේ දී ඩොලර් එකට රුපියල් එකසියඅසූවක අනුපාතය අනුව රුපියල් කෝටි විසිදහස් එකසියහැටක් අවම වශයෙන් අවශ්‍යය.


ඔහු දී තිබෙන ප්‍රධාන පොරොන්දු හතරක් ඉටු කිරීමට පමණක් අවශ්‍ය මුළු වියදම රුපියල් කෝටි හැටපන්දහස් පන්සියහැටක්ය. එසේ ම සජිත් ප්‍රේමදාස ලබා දී තිබෙන ප්‍රධාන පොරොන්දු හතරක් ඉටු කිරීමට අමතර වශයෙන් රුපියල් කෝටි පනස්නව දහස් හාරසිය පනස්අටක් දැරිය යුතු වේ. මේ පොරොන්දුවල තිබෙන බොරුව ලබන වසර සඳහා ඉදිරිපත් කර තිබෙන අතුරු සම්මත ගිණුමේ වියදම් පිළිබඳ සාකච්ඡා කෙරෙන මතු අවස්ථාවේ දී පැහැදිලි වනු ඇත.

ලක්ෂ 13කට අධික රාජ්‍ය සේවකයන් හට ලබා දී තිබෙන පොරොන්දු මේ ලෙස වන අතර, පාලකයන් සඳහා දැනටමත් ලබන වසර වෙනුවෙන් අත්පත් කරගෙන තිබෙන දේවල් සුළුපටු නොවේ. මුල් මාස හතර සඳහා ජනාධිපතිගේ වියදම රුපියල් දෙසියහතළිස් කෝටි පනස්හත් ලක්ෂයකි. දවසකට රුපියල් කෝටි දෙකකටත් වැඩිය. විජිත හේරත් මන්ත්‍රීවරයා මධ්‍ය හමුවක දී මේ බව හෙළි කළ විට සිරිසේන ජනාධිපතිට හොඳටම කේන්ති ගොස් නිවේදනයක් නිකුත් කර තිබුණේ, මෙය ජනතාව නොමඟ යවන ප්‍රකාශයක් බවය. නමුත්, ඇත්ත වශයෙන්ම කෙරෙන්නේ ජනාධිපති ධුරය යනු මෙලෙස නාස්තිකාර වියදම් දැරීමේ මකර කටක් වී තිබීම ය. ජනාධිපතිගේ වියදම්වලට මෙසේ වෙන් කරන සල්ලිවලින් ජාතික ආර්ථික සභාවට රුපියල් කෝටි 28ක් වැය කර තිබිණි.

ජාතික ආර්ථික සභාවේ නාමයෙන් රුපියල් කෝටි 28ක මහජන මුදලක් ගඟේ මුහුදේ හෙළා ඇත. නමුත්, මේ මුදල් ගැන කිසිදු වගකීමක් ඔහුට නැත. මෙය එක පුංචි නිදර්ශනයක් පමණය. ජනාධිපති යටතේ ම තිබෙන කාබනික පොහොර ව්‍යාපෘතියට ද රුපියල් කෝටි සියයකට වඩා මහජන ධනයක් විනාශ කොට ඇත. ඒ කාබනික ව්‍යාපෘතියේ කෙරුමකු වූ අතුරලියේ රතන භික්ෂුව දැන් ගෝඨාගේ වේදිකාවේ සිට රසායනික පොහොර නොමිලේ දෙන බව ගෝඨා කියන විට අත්පොළසන් දෙයි. මේ ආදී වශයෙන් රුපියල් කෝටි සිය ගණනක් විසි කර ඇත්තේ, ජනාධිපතිට වෙන් කරන මහජන මුදල්වලින්ය.

අගමැතිගේ වියදම් සඳහා ද මුල් මාස හතර වෙනුවෙන් රුපියල් විසිඅට කෝටි හැටහය ලක්ෂයක් වෙන් කරගෙන ඇත. පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයට රුපියල් එක්කෝටි හැත්තෑදෙලක්‍ෂ පන්දහසක්ය. මෙය කාර්යාල කුලිය වෙන ම ගෙවාගෙන පිටත ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන්නක් නොවේ. සභානායකගේ කාර්යාලයට එසේ වන විට විපක්ෂ නායක කාර්යාලය වෙනුවෙන් රුපියල් පන්කෝටි අනූඑක් ලක්ෂ විසිදහසක් වෙන් කර ඇත. මෙය  පාර්ලිමේන්තුව පවත්වාගෙන යන කාර්යාලයක්ය. මේ ලෙස සභානායක, විපක්ෂ නායක කාර්යාලවලට වෙන් කරන සල්ලිවලට අමතරව මුල් මාස හතර සඳහා මුළු පාර්ලිමේන්තුව වෙනුවෙන් රුපියල් එකසියතුන් කෝටි පන්ලක්ෂයක් වෙන් කරගෙන ඇත.

ජනාධිපති වෙනුවෙන් රුපියල් කෝටි 240ක් ඉක්මවා වියදම් වෙන් කර ගන්නා අතර, සමස්ත පාර්ලිමේන්තුව වෙනුවෙන් කෝටි 103ක් වෙන් කිරීම මඳි වාගේ යන හැඟීමක් ඇති වීමට ද හැකිය. කෙසේ නමුත්, මඳියි නොකියන්න වෙන් කරගෙන ඇති අමාත්‍යාංශ පවතී. ආරක්ෂක අමාත්‍යාංශය නිදසුනක්ය. කෝටි 13,666ක් වෙන් කරගෙන ඇත. ගෙවී යන වසරේ අතිවිශාලම මුදල වෙන් කරගෙන තිබෙන්නේ ද ආරක්ෂක අමාත්‍යාංශයටය. සල්ලි වෙන් කර ගැනීමේ කිසිදු අඩුවක් නැත. එහෙත්, සහරාන්ලාට කිසිදු බාධාවක් සිදු නොවූයේය. අවුරුද්දකට රුපියල් කෝටි 40,000කට ආසන්න තමන්ගේ සල්ලි ආරක්ෂක අමාත්‍යාංශයට යොදවා තමන්ට ලබා දුන් ආරක්ෂාව කුමක් ද කියා ජනතාවගෙන් ද කිසිදු ප්‍රශ්න කිරීමක් නැත. ජාතික ආරක්ෂාවේ නාමයෙන් ගෝඨලා පිනුම් ගහන්නේ මේ නිසාය.

ආරක්ෂක අමාත්‍යාංශයට අමතරව ඉහළම මුදලක් මුදල් අමාත්‍යාංශයට වෙන් කර ඇත. එය රුපියල් කෝටි 6,096ක්ය. සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් කෝටි 5,978ක්ය. මේ හා විශාල මුදලක් වෙන් කර තිබිය දී, රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හිඟය ඇයි දැයි මහජනතාව ප්‍රශ්න කරන්නේ නැත.

තවත් ජනතාවට සංවේදීම අමාත්‍යාංශයක් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයයි. එයට රුපියල් කෝටි 3,040ක් වෙන් කර ඇත. මේ සා මුදලක් අධ්‍යාපනයට වෙන් කරන විට සමස්ත ගුරුවරුන් 2,61,478ක වැටුප් පහත් ම මට්ටමක තියෙන්නේ ඇයි දැයි කිසිවකු ප්‍රශ්න කරන්නේ නැත. ‘ළඟම පාසල හොඳම පාසල’ යැයි කියමින්, කොන්ක්‍රීට් වැපිරවීම ගැන ප්‍රශ්න කරන කිසිවෙක් නැත. මෙය අධ්‍යාපනය ය – අපේ සල්ලි විනාශ කර අපේ දරුවන්ට දෙන අධ්‍යාපනයය.

ලබන වසර වෙනුවෙන් සල්ලි පොම්ප කරන්නේ මේ ආදී වශයෙන්ය. අමාත්‍යාංශවලට වෙන් කරන මහජන ධනය ගසාකෑමට අතළොස්සකට ඉඩ සැලැසීම මිස වෙනත් කිසිවක් හෝ ඒ තුළ නොවේ ය. පසුගිය 2018 වර්ෂයට අදාළව විගණකාධිපතිවරයා හෙළි කර තිබෙන්නේ, සඟවා තබා ඇති ණය ද සමඟ රටේ මුළු ණය බර රුපියල් කෝටි දහතුන් ලක්‍ෂයක් බව ය. එහෙත්, එයින් රටට අත්කර දී ඇති වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි එක්ලක්‍ෂ අසූදහසක් ය. ඔබ මතක තබා ගත යුතු ඉතා වැදගත් කරුණක් වන්නේ රුපියල් කෝටි ලක්ෂ දෙකක පමණ ණය කන්දක් සඟවා තබා ඇති බවය. මේ රටේ මහජනතාව මත අතිවිශාල ම ණය කන්දක් පටවා සුළු පිරිසක් කොල්ලකන ලද ණය ප්‍රමාණය කොතරම් ද යන්න පිළිබඳව දැන් හෝ අවධානය යොමු කිරීම වැදගත්ය.

ඡන්දදායකයන්ට රූපයට රූපයක් දීමේ පොරොන්දුව ලබා දෙන්නේ ලබන වසරේ මුල් මාස හතරට අදාළව රජයේ කුමන ආර්ථික තත්ත්වයක් යටතේ ද? ඇස්තමේන්තු කළ රජයේ ආදායම රුපියල් කෝටි 74,500ක්ය. වියදම රුපියල් කෝටි 1,47,000ක්ය. මේ අනුව දිනකට වියදම රුපියල් කෝටි 1,212ක් වන විට දිනක ආදායම රුපියල් කෝටි 615ක්ය. දිනකට ණය ගැනීමේ අවශ්‍යතාව රුපියල් කෝටි 596ක්ය. මේ අතර එක දෙයක් අවධාරණය කර ගත යුතුය. එය නම්, රජයේ ආදායම් ඉලක්ක බිඳවැටී වියදම් ඇස්තමේන්තු ඉහළ යන බවය. ඒ අනුව ණය ගැනීම් ඉහළ යන බවය. එකිනෙකා පරයා ගෝඨා සහ සජිත් ඡන්ද පොරොන්දු දෙන්නේ මෙන්න මේ කටුක ඇත්ත තුළය. ඉහත සඳහන් ලෙස ඡන්ද පොරොන්දු ඉටු කිරීමට වියදම් දැරිය හැකි ද?

ඔවුන් වෙනුවෙන් වෙන් කර ගන්නා මුදලින් එක රුපියලක් හෝ කපා නොහැර අනෙකුත් සියලු මුදල් ලබන වසර තුළ දී කපාහරින බව ස්ථිරය. ඉතා හොඳින් මතක තබා ගත යුත්තේ, ඔය දෙනවා ය කියන දේවල් නොලෙැබෙනවා පමණක් නොව දැනට මොනවා හෝ ටිකක් ජනතාවට ලැබෙන්නේ නම්, එය ද කපාහරිනු ඇති බව ය. ඉතින්, තව දුරටත් මේ කතාවලට ඇන්දෙනවා ද යන්න තීරණය කිරීම අපි අපිම කර ගත යුතුය.

ඉන්ද්‍රසිරි ජයසුන්දර

සබැඳි

Leave a Reply

Your email address will not be published.