ජනතා ජයග්‍රහණයේ අත්තිවාරම

මේ සටහන තබන්නේ 31 වැනිදා ය. ජනාධිපතිවරණයට තව ඇත්තේ, හරියට ම දින දහසයක් ය. දිය යටින් ගින්දර ගෙන යන විනාශයේ සාධක බොහෝ ය. මහා පරිමාණ මූල්‍ය අපරාධ සහ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ වසං කිරීමේ ඩීල් එක පැත්තකින් දිය යටින් ගෙන යන්නේ ය. අනෙක් පැත්තෙන් ඊට වඩා අතිශය භයානක ජාතිවාදී, ආගම්වාදී සහ අන්තවාදී ප්‍රචාර ගෙන යන්නේ ය. රට හදන ප්‍රතිපත්ති ගෙනහැර දක්වමින්, කෙළින් ජනතාව සමඟ සංවාද කළ නොහැකි කවුරුත් කරන්නේ, අවසන් මොහොතේ ඡන්ද කුට්ටි කඩා ගැනීමට දිය යටින් මහා පරිමාණ ගින්දර වැපිරීම ය. මේ වන විට දකින්නට ඇත්තේ එහි වර්ධනයක් ය.


එක් පැත්තකින් උතුර සහ නැඟෙනහිර දෙමළ, මුස්ලිම් ජාතිවාදීන් තම තමන්ගේ ව්‍යාපෘති ගෙන යන්නේ ය. ජාතිවාදී අන්තවාදීන්ගේ රට බෙදීමේ බිල්ලා ලොකුවට පෙන්වා දකුණේ ගින්දර ගෙන යන්නේ ය. මෙය පදනමින් තේරුම් ගැනීම වැදගත් ය. මෙම දහසය වැනිදා ඡන්ද පොළට යන ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව එක්කෝටි හැටලක්‍ෂයක් ය. එයින් විසිලක්‍ෂ තිස්දහසක් උතුරු නැඟෙනහිර ඡන්ද ය. එක්කෝටි හතළිස් ලක්‍ෂයක් දකුණේ ඡන්ද ය. මෙවර මුල් වටයේ දී කිසිවකුට සියයට පනහ ගත නොහැකි බව බොහෝ දෙනාගේ අදහස ය. සටන තුන්කොන් ය. අන්තවාදී ජාතිවාදීන් දකුණේ ඡන්ද වෙනුවෙන් උතුරේ බිල්ලන් පෙන්වන්නේ මේ තුන්කොන් සටන නිසා ය. ඇත්තට ම ගත්තොත්, එක ම පිලේ දෙදෙනෙක් සහ විකල්ප අපේක්‍ෂකයා ය. මේ නිසා බිල්ලා මැවීමේ තරගය තියුණු කෙරී ඇත. ඊටත් වඩා භයානක දේ බිල්ලන් සිටින බව පෙන්වීමට සාධක ද නිර්මාණය කරගෙන තිබීම ය. උතුර සහ නැඟෙනහිර ජනතාවට ද දකුණේ බිල්ලා ගැන තහවුරු කිරීමට සාධක ද ඉදිරිපත් කරන්නේ ය.


මෙය අද ඊයේ වූ දෙයක් නොවේ ය. 1982 පළමු ජනාධිපතිවරණයේ සිට ද, ඊට පෙර මහා මැතිවරණවලට ද පොදුවේ යොදා ගන්නා ලද්දක් ය. 1982 ජනාධිපතිවරණයේ දී උතුරේ ජාතිවාදය පැතිරවීමට කුමාර් පොන්නම්බලම් සිටියේ ය. දකුණේ ජේ. ආර්. ජයවර්ධන ය. ‘ජාති ආලය’ තලුමැරුවෙ උතුරේ ඒ ජාතිවාදය පෙන්වා ය. කුමාර් පොන්නම්බලම් එදා දකුණේ සිංහල ඒකාධිපති පාලනය පෙන්වා වෙන ම රාජ්‍යයක් වෙනුවෙන් ජනමතය පෙළගැස්වී ය. ජනාධිපතිවරණයේ දී අද ද ක්‍රියාත්මක කරන්නේ, වෙනත් නම් සහ මුහුණු යොදාගෙන ඒ දේ ම ය. මෙය අද එදාට වඩා සියුම්ව, සැලැසුම්සහගතව, උපක්‍රමශීලීව ක්‍රියාත්මක කිරීමේ වෙනස පමණක් ඇත්තේ ය. මේ සියුම් බව, උපක්‍රමශීලී බව කෙතරම් ද යන්න තේරුම් ගැනීමට 2015 මහා මැතිවරණය හොඳ නිදසුනක් ය.


ඒ මැතිවරණයට මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් වූයේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ය. දෙමළ ජාතිවාදී, ඊළාම්වාදී සිවාජිලිංගම් කොහේ දෝ සිට කුරුණෑගල දිස්ත්‍රික්කයට කඩාපාත් වූයේ ය. ඡන්දය ඉල්ලුවේ ය. අඩු ම ගාණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සැලැකිය යුතු දෙමළ ඡන්ද ප්‍රමාණයක් තිබේ නම් හෝ එම කඩාපැනීමට පදනමක් තිබූ බව කිව හැකි ය. අඩු ම ගණනේ එහෙම පදනමක් හෝ නොමැතිව සිවාජිලිංගම් කුරුණෑගලට කඩාපාත් වුණේ ය. මහින්ද හම්බන්තොට සිට කඩාපාත් වීමේ තර්කයක් තිබුණේ ය. දිස්ත්‍රික්කවල ඡන්ද පැතිරීම අනුව වැඩි ම ඡන්ද ප්‍රමාණය ඇත්තේ, කුරුණෑගල ය. මහින්දට එහි ගොස් උතුරේ බිල්ලා පෙන්වා ඉහළ ම ඡන්ද ප්‍රමාණයක් ගත හැකි වූයේ ය. එහෙත්, සිවාජිලිංගම්ට එහි කිසි ම පදනමක් නොවූයේ ය.


මෙයින් පැහැදිලි වන්නේ එක දෙයක් ය. ජාතිවාදයකින් අනෙක් ජාතිවාදය කොතරම් පෝෂණය කරනවා ද යන්න ය. ජාතිවාදී අන්තවාදීන් මෙය කොතරම් අවබෝධයකින්, සහයෝගයකින් යොදා ගන්නවා ද යන්න ය. ජනාධිපතිවරණ වේදිකාවල දැන් ඉහළට ගෙන යමින් තිබෙන්නේ, මේ ජාතිවාදී අන්තවාදය ම ය. මේ විනාශකාරී බිහිසුණු මතයට එරෙහිව ප්‍රබල ම හඬ නඟමින් සිටින්නේ, ජාතික ජන බලවේගය පමණක් ය. නමුත්, ඒ හඬ යටපත් කිරීමට උතුරේ මෙන් ම දකුණේ ද ජාතිවාදී අන්තවාදීන් කොතරම් පිරිසක් පෙළගැසී සිටින්නේ ද යන්න තේරුම් ගැනීම අවශ්‍ය ය.


පසුගිය මහා මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රී ධුර දහසයක් ලබාගෙන විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය බවට පත් වූයේ ය. මහින්ද රාජපක්‍ෂගේ ඒකාබද්ධ විපක්‍ෂය දිගින් දිගට ම දෙමළ ජාතික සන්ධානය බිල්ලා බව පෙන්වී ය. දෙමළ ජාතික සන්ධානයේ පොදු මතය වූයේ දෙමළ ජනතාවගේ අයිතීන් ඒකීය ශ්‍රී ලංකාවක් තුළ දිනාගැනීම ය. ඒ වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ මතවාදී අරගලයක නිරත විය. යුද්ධ සමයේ අධිආරක්‍ෂිත කලාප පිහිටු වීම සඳහා පවරා ගන්නා ලද ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම, තමන්ගේ භාෂාවෙන් රජයේ කටයුතු කර ගැනීමේ අවස්ථාව ලබා දීම, ආර්ථික ප්‍රශ්න, නිවාස ප්‍රශ්න, රැකියා ප්‍රශ්නය ආදී ගැටලු විසඳා ගැනීමේ ප්‍රවේශයක් ඔවුන්ට තිබිණි. දෙමළ ජාතික සන්ධානය එම ජනතාව වෙනුවෙන් ඒ මූලික ගැටලු විසඳා දීම සඳහා නිසි ලෙස මැදිහත් නොවීම පිළිබඳ විවේචනයක් එල්ල වී තිබෙන්නේ ය.


දෙමළ ජාතික සන්ධානයේ මේ ක්‍රියාමාර්ග ඉක්මවා වර්ධරාජා පෙරුමාල් මුලින් ම ප්‍රාදූර්භූත වූයේ ය. ඒ ගෝඨාභය රාජපක්‍ෂගේ වේදිකාවක ය. අප්‍රේල් 21 එල්ල කළ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය සමඟ මළගෙදර මඟුල් කාඞ් බෙදීමේ ලජ්ජා නැති න්‍යායෙන් තමන් ම ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ප්‍රකාශයට පත් කර ගත් ගෝඨාගේ වේදිකාවෙන් වර්ධරාජා ප්‍රාදූර්භූත වූයේ ය. වර්ධරාජා පෙරුමාල් යනු උතුරු නැඟෙනහිර මහඇමති වශයෙන් සිට 1990දී දෙමළ ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත් කළ පුද්ගලයා ය. මෙයට දෙමළ සමාජයෙන් ම පැනනැඟුණු විරෝධය හමුවේ ඉන්දියාවට පලා ගොස් පණ බේරා ගත් පුද්ගලයා ය. ඔහු මෙසේ ප්‍රාදූර්භූත වන්නේ උතුරේ තම බලය මන්ත්‍රී ධුරයකින් ස්ථාවර කරගෙන සිටි රාජපක්‍ෂවාදී ඩග්ලස් දේවානන්ද ද පෙරළාගෙන ය. වර්ධරාජා පෙරුමාල් උපාසක බළල් න්‍යායෙන් ගෝඨාභයගේ වේදිකාවේ අරක් ගන්නා විට යාපනය විශ්වවිද්‍යාලයේ මැදිහත් වීමකින් සකස් කරන ලද ඉල්ලීම් දහතුනක් පිළිබඳ කතාවක් කරළියට ආවේ ය. මේ වන විට දෙමළ පක්‍ෂ පහක් එම යෝජනාවලට එකඟ වී ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් සමඟ ඒ ගැන සාකච්ඡා කරන බවත්, ඒ අනුව ඡන්දය භාවිත කළ යුතු ආකාරය ගැන තීරණයක් ගන්නා බවත් ඔවුන් විසින් කියා තිබිණි. එහෙත්, කිසිදු අපේක්‍ෂකයෙක් සමඟ එවැනි සාකච්ඡාවක් කෙරුණේ නැත. ඒ අතර එම පක්‍ෂවල අයට පවා එකඟතාවක් ඇති කර ගැනීමට හැකි වී නැත. 31 වැනිදා තැපැල් ඡන්දයට අදාළව ඔවුන් වෙන වෙන ම කියා තිබුණේ, කැමැති අයකුට ඡන්දය දෙන ලෙස ය.


උතුරේ දෙමළ පක්‍ෂ පහක් විසින් එම ඉල්ලීම් දහතුන ඉදිරිපත් කළ බව ප්‍රචාරය කළ ද, එහි තිබෙන්නේ, අර්ධ සත්‍යයක් ය. ප්ලොට්, ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්., අයි.ටී.ඒ.කේ. සහ දෙමළ සන්ධානය (දෙමළ ජාතික සන්ධානය නොවේ) යන පක්‍ෂ එම ඉල්ලීම් දහතුන ඉදිරිපත් කරන ලද බව ප්‍රචාරය කෙරිණි. එහෙත්, අදාළ පක්‍ෂවලින් නිල වශයෙන් අනුමත කරන ලද ඉල්ලීම් නොවේ. අදාළ පක්‍ෂ තුළ සිටින එක්තරා කණ්ඩායමක් පමණක් එකඟතාව පළ කරන ලද ඉල්ලීම් ය. උතුරේ දෙමළ පක්‍ෂ පහක් එක් වී ‘සිංහල’ අපේක්‍ෂකයන්ට එම ඉල්ලීම් ඉදිරිපත් කරන ලද බව ලොකුවට ප්‍රචාරය කෙරිණි. මේ ඉල්ලීම් පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්වූයේ, ජාතික ජන බලවේගය පක්‍ෂය පමණ ය. ඒ වෙනුවෙන් විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ, උතුරු පළාත සහ නැඟෙනහිර පළාත ඒකාබද්ධ කිරීම පිළිබඳ යෝජනාව තරයේ හෙළාදකින බව ය. එම ප්‍රදේශවල ජීවත් වන දෙමළ ජනතාවට බලපාන ප්‍රශ්න පිළිබඳව විවෘතව සාකච්ඡා කළ හැකි බව කියා තිබුණේ ය.


උතුරු සහ නැඟෙනහිර දෙපළාත ඒකාබද්ධ කිරීමට ඉල්ලීම මැතිවරණ කාලවල දී දිගින් දිගට ම අලුත් කරමින් ගෙන එන ලද ඉල්ලීමක් විය. අලුත් ම එකක් නොවන බව ද සිහිපත් කළ යුතු ය. ශිවශක්ති ආනන්දි, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවෙයි සේනාධිරාජා, උතුරේ මහඇමතිව සිටි සී. වී. විග්නේශ්වරන් එම ඉල්ලීම ඉදිරිපත් කරන අය අතර සිටින්නේ ය. සජිත් ප්‍රේමදාස හෝ ගෝඨාභය රාජපක්‍ෂ හෝ අදාළ ඉල්ලීම් හමුවේ ක්‍රියා කරන්නේ, රාත්‍රී කාලයේ සොහොනක් ළඟින් යන විට අහක බලාගෙන යන සේ ය. උතුරේ ඡන්ද කෙරෙහි ඒ තරම් ම සැලැකිලිමත් වී සිටින්නේ ය. මතුපිටින් එසේ වුව ද, කරන්නේ දිය යටින් ජාතිවාදී ගින්දර ගෙන යාම ය. දකුණට පෙන්වන්නේ උතුරේ ඉල්ලීම් මඟින් යළිත් ඊළාම් බිල්ලා ය.


නැඟෙනහිර තත්ත්වය ද එසේ ම ය. ගෝඨාභය හා සජිත් දෙදෙනා ම නැඟෙනහිර ඡන්ද ගැනීමට නොයෙක් ආකාර මඟින් දිය යට ගින්දර ගෙන යමින් සිටින්නේ ය. නමුත්. උතුරට වඩා වෙනස් තත්ත්වයක් යටතේ ය. උතුරේ තිබෙන්නේ මුළුමනින් ම වාගේ දෙමළ ඡන්ද පදනමක් ය. නමුත්, නැඟෙනහිර සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ම ජන කොටස් සිටිති. ඒ නිසා ම දෙමළ සහ මුස්ලිම් ඡන්ද ගෙඩි පිටින් දිනාගැනීමට වඩාත් සංකීර්ණ ලෙස දිය යට ගින්දර ගෙන යාම් කරන්නේ ය. එහි දී මුස්ලිම් ජනතාවට විරුද්ධව දෙමළ ඡන්ද දිනා ගැනීමට ගෝඨාභය ක්‍රියා කරන්නේ කරුණා අම්මාන්, පිල්ලෙයාන් වාගේ ම වියාලේන්ද්‍රන් නම් ටී.එන්.ඒ. මන්ත්‍රීවරයා ද යොදාගෙන ය. ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයේ දී ඔහු ටී.එන්.ඒ සන්ධානය අත්හැර රාජපක්‍ෂලා සමඟ එක් වූ අයෙක් ය. මොවුන් එකතු වී දෙමළ ජන සමාජය තුළ පතුරුවා හරින්නේ, ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට නම්, ගෝඨාභයට ඡන්දය දිය යුතු බව ය.
අනෙක් පැත්තෙන් ගෝඨා විරෝධී අපේක්‍ෂකයකුට මුස්ලිම් ඡන්ද වැටීම වැළැක්වීම සඳහා හිස්බුල්ලා යොදවාගෙන සිටින්නේ ය. හිස්බුල්ලා රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ සිටි ඇමතිවරයෙක් ය. වහාබ්වාදය නැඟෙනහිර පමණක් නොව රට පුරා පතුරුවා හරිමින්, ෂරියා විශ්වවිද්‍යාලයක් පිහිටු වූ පුද්ගලයා ය. ඒ සඳහා රජයේ ඉඩම් ලබා දී සෞදියෙන් ඩොලර් මිලියන සිය ගණනක් පවුලේ සමාගමකට ගෙන්වා ගැනීමට ඉඩ දී පෝෂණය කළ පුද්ගලයා ය. හිස්බුල්ලා ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටීමෙන් නැඟෙනහිර දෙමළ ඡන්ද මුස්ලිම් අන්තවාදයට විරුද්ධව ගෝඨාට ගැනීමට උත්සාහ කෙරේ. කුරුණෑගලින් 2015දී මහා මැතිවරණයට ඉදිරිපත් වූ සිවාජිලිංගම් ද මෙම ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙක් ය. උතුරේ දෙමළ ඡන්ද ගෝඨා විරෝධියකුට පාවිච්චි වීම වැළැක්වීම ඔහුගේ අරමුණ ය.
තවත් පැත්තක් තිබෙන්නේ ය. පසුගිය මහා මැතිවරණයේ දී සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස වන්නි දිස්ත්‍රික්කයෙන් පත් කළ අංගජාන් ද දැන් සිටින්නේ ගෝඨා සමඟ ය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ය. එම දිස්ත්‍රික්කයෙන් ම තේරීපත්ව සිටින මුස්ලිම් මන්ත්‍රීවරයකු වන මස්තාන් දැන් සිටින්නේ ද ගෝඨාභය සමඟ ය. අනෙක් පැත්තෙන් රාජපක්‍ෂ පාලනයේ දී ඇමතිවරයකුව සිට රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුවේ ඇමතිවරයකු වූ ද බදියුදීන් සිටින්නේ සජිත් ප්‍රේමදාසගේ සහායට ඉදිරිපත් වී ය. දකුණේ ඡන්ද එක්කෝටි හතළිස්ලක්‍ෂයකට පමණ උතුර, නැඟෙනහිර පෙන්වන්නේ ද, උතුරු, නැඟෙනහිර ඡන්ද විසිලක්‍ෂ තිස්දහසක් වෙනුවෙන් උතුරේ දාම් පෙත එළා ඇත්තේ ද මෙසේ ය.


සජිත් – ගෝඨා දෙදෙනා ම තම තමන්ගේ බලය වෙනුවෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ඉරි ගසා බෙදාගෙන සිටින්නේ දිය යටින් ගින්දර ගෙන යන න්‍යායෙන් මේ ලෙස ය. ජනතාව දකින්නේ ඒ එකිනෙකාට විරුද්ධව කියා ගන්නා කතා ය. කටකතා මඟින් ගෙන යන ප්‍රචාරයන් ය. එහෙත්, උතුරේ දී හෝ වේවා නැඟෙනහිර දී හෝ වේවා දකුණේ දී හෝ වේවා ජාතික සමඟිය, ආගමික සහජීවනය සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් ගෙන යන මතවාදී අරගලය සමාජගත කරන්නේ ජාතික ජන බලවේගය පමණ ය. එහි ජනාධිපති අපේක්‍ෂක අනුර දිසානායක ඇතුළු පිරිස ය. දකුණේ දී මෙන් ම උතුරේ දීත්, ඊටත් වඩා නැඟෙනහිර දීත් ජනතාව මේ මතවාදී අරගලය වටා එක් රොක් වන බව දැකිය හැකි ය. ඉදිරියේ දී මහා ජන බලවේගයක් බවට පත් වන්නේ මේ ජනතාව ය. ඊට අත්තිවාරම දමා අවසන් ය. එය ශක්තිමත් කරමින්, පෙරට ගෙන යන තීන්දුවක් මේ ජනාධිපතිවරණයේ දී ගැනීම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ දේශපාලන වගකීම වී තිබෙන්නේ ය.

ජගදාක්ෂි

සබැඳි

Leave a Reply

Your email address will not be published.