දේශපාලන වාසි ගන්න මාව පාවිච්චි කළේ නැහැ – ප්‍රේමකීර්තිගේ බිරිඳ අනුරගේ වේදිකාවේ සිට කියයි

ජාතික ජන බලවේගයේ කාන්තා ප්‍රඥප්තිය එළි දැක්වීමේ අවස්ථාවේ ඊට සහභාගී වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා ද අල්විස් මහත්මිය තමන්ගේ සහාය ලැබෙ න්නේ අනුර කුමාර දිසානායකට බව පැවසීය. එසේම මෙතෙක් සිටින මිත්‍යා මත අත්හරිමින්, ඇත්ත තේරුම් ගෙන ජාතික ජනබලවේගය වටා එක් වන ලෙද ද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

එහිදී ඇය විසින් කරන ලද කතාව සංක්ෂිප්තව පහත දැක්වේ.

“අද මේ මොහොතෙන් පස්සෙ රටෙන් බාගයක් මට හිනහ වෙයි. ඒ හිනා වෙන්නෙ නොදැනුවත්කම නිසා කියන්නත් එක්කයි මම මේ කතාව කියන්නෙ. මම කිසිම දේශපාලන කටයුත්තකය මේ වෙනකම් අත පොවල නැහැ. ඒත් දැන් වියපත් කාන්තාවක් විදිහට මේ රටේ සිදු වුණු දේවල් දිහා මම බලාගෙන හිටියා. ඒ දවස් වල මගේ වසසෙ හිටපු, එහෙම නැත්නම් මට වඩා වැඩිමහල් තරුණයන් මිය යද්දි ඒව මම දැක්ක. ඊට පස්සෙ උතුරේ සහ දකුණේ මව්වරු කඳුළු හෙළනව මම අවුරුදු තිහක් බලාගෙන හිටියා. ඒ දේවල් එක්ක ගත්ත තීරණයක් එක්ක තමයි අද මම මෙතැනට ආවෙ.

ප්‍රේමකීර්තිගෙ ඝාතනය ගැන තියන කතා එක්ක මම මෙතැන ඉන්න එක ගැන හැමෝටම ප්‍රශ්නයක් ඇති. ප්‍රේමකීර්තිගෙ ඝාතනය ගැන මම හොයාගෙන ගිහින් ඇත්ත දැන ගත්තට පස්සෙ, මුලින්ම කරපු දේ තමයි මෙතුමන්ලගෙ දේශපාලන පක්ෂයට ඒක කියපු එක. මම එහෙම කළේ කිසිම දේශපාලනයක් ඇතිව හරි, වෙනත් කිසිම අරමුණක් ඇතිව හරි නෙමෙයි. මගේ එකම අරමුණ වුණේ මේක රට දැන ගත යුතුයි, ඉදිරියටත් මේ වගේ දේවල් මේ රටේ වෙන එක නවත්තන්න ඕනෙ කියන එකයි.

ඒත් මට මේ වේදිකාවෙ ඉන්න ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මීට පෙර කිසි දිනක හමු වෙලා නැහැ. ප්‍රේමකීර්ති ඝාතනයේ ඇත්ත මේ අයට කිව්වට පස්සෙවත් කවදාවක් ඔහු මට කිසිම දේකට එන්න කියල කිසිම ආරාධනයක් කරලත් නැහැ. ඒත් ඊට බොහොම කාලෙකට පස්සෙ මම ‘මල්ලියේ’ කියල ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා. මම දකින සමහර කාරණා ගැන කිව්වම ඉතාම සුහදව ඒ දේවල් ගැන කතා කළා. ඊට පස්සෙ මට ඇහෙන සමහර දේවල් ගැන කියන්න, සමහර ප්‍රතිපත්ති රටක ක්‍රියාත්මක කරන්න පුළුවන්නම් කොයි තරම් හොඳද කියල කියන්න අයෙත් කාලෙකට පස්සෙ කතා කළා. මම එහෙම කතා කරද්දිවත් මෙතුමා මට දේශපාලන වේදිකාවට එන්න කියල.

ඊට පස්සෙ ඊයෙත් මම කතා කළා. රටේ තියන ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕනෙ, මේ රටේ දැන් මොනව හරි අලූත් දෙයක් වෙන්න ඕනෙ නේද කියල ඇහුවා. ඒ පාර තමයි ඔහු මට කිව්වෙ, හෙට මේ විදිහෙ කාන්තා වැඩසටහනක් තියෙනවා, පොඩ්ඩක් ඇවිත් බලන්න ඒක කියල. ඒත් මට වේදිකාවට එන්නවත්, කතාවක් කරන්නවත් කියල කිව්වෙ නැහැ. මෙතෙන්ට එනකම් මෙහෙම කතාවක් කරන්න මගේ සූදානමක් තිබුණෙත් නැහැ. ඒත් දැන් ටික වෙලාවකට කලින් මමයි කිව්වෙ. මට කියන්න දෙයක් තියෙනවා, මම ඒක කියන්නද කියල.

දැනට අවුරුදු තිහකට විතර කලින්, ප්‍රේමකීර්තිගෙ ඝාතනයෙන් පස්සෙ විවිධ අය මාව හොයාගෙන ආව. විවිධ වැඩ වලට ආරාධනා කළා. ඒ හැමෝටම මම කිව්වෙ සැමියා මිය ගිය එක හේතුවක් කරගෙන දේශපාලනයට එන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ දේ මගෙන් බලාපොරොත්තු වෙන්න එපා කියල. එහෙම හිතපු මට මේ විදිහට ඉදිරිපත් වෙන්න තිබුණු ලොකුම හේතුව තමයි මේ අය තුළ තිබුණු අවංක කම සහ වීනීත කම. මාව කිසි දේකට පාවිච්චි කර ගන්න ඔවුන් හිතුවෙ නැහැ.

අනෙක් කාරණාව තමයි පසුගිය දවස් කිහිපය පුරාම එකින් එක එළි දක්වගෙන ගිය ප්‍රතිපත්ති මාලාව. වෙන කිසිම දේශපාලන පක්ෂයක් එහෙම කරන්නෙ නැහැ. නිකම් මේ දේවල් මම ආවම කරනව කියන සරල පොරොන්දු වෙනුවට එකින් එක නිශ්චිතව, ඉලක්ක ඇතුව, පැහැදිළිව වැඩපිළිවෙලක් විදිහට ඉදිරිපත් කරපු ඒ ප්‍රතිපත්තිත් මට මේ වේදිකාවට එන්න බලපාපු අනෙක් හේතුව වුණා.

මම නැවතත් කියනවා, මම මෙතන කතා කරපු එක හෙට ඉඳන් මට විරුද්ධව, දේශපාලන වාසි වෙනුවෙන් පාවිච්චි වෙන්න පුළුවන්. ඒ වැරදි මත වලට අහු වෙන්න එපා. ඒ වගේම දැනට ඉන්න වැරදි ආකල්ප වල ඉන්න හැම කෙනාටමත් මම ආරාධනා කරනවා, ඒ වැරදි මත වලින් වෙන් වෙලා, රට යන අත ගැන හිතල, ඒ ගමන නිවැරදි පැත්තට ගෙනියන්න එකතු වෙන්න කියන එක මම බොහොම විශ්වාසයෙන් කියනවා.”

සබැඳි

Leave a Reply

Your email address will not be published.