ජනාධිපති කාර්යාලය වැරැදි හදා ගනී !

දැඩි කතාබහට ලක් වූ නව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ ප්‍රධානත්වයෙන් පසුගිය 29දා පෙරවරුවේ විවෘත කෙරිණි.
මින් ඉදිරියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජාතිය ඇමතීමට මේ ස්ථානය යොදා ගන්නා බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක පවසයි. ජනාධිපතිවරයාට මෙන්ම ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාට ද සතිපතා මාධ්‍යවේදීන් හමුවීමටත්, ප්රවෘත්ති සාකච්ඡා පැවැත්වීමටත් මේ ස්ථානය භාවිත කෙරෙනු ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත්, මේ ස්ථානයේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ඔස්සේ පළ වීමෙන් පසු එහි තිබෙන අඩුපාඩු රැසක් පිළිබඳව විවෘත කිරීමට පෙර චෝදනා එල්ල විය. එහි ඇති නාමපුවරු භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය වන අයුරින් සකස් කර ඇති බව එක් චෝදනාවකි. විවෘත වූ නව ජනධිපති මාධ්‍ය කේන්ද්‍රයේ එම වැරැදි, නිවැරැදි කර තිබේ.
ජනාධිපති කාර්යාලය ලෙස මුලින් සඳහන්ව තිබූ කුඩා වේදිකාවේ විවෘත කරන දිනයේ සඳහන් වූයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ලෙසයි. මීට පෙර එහි දෙවැනියට ඉංග්‍රීසි භාෂාව යොදාගෙන තිබුණත්, විවෘත කරන අවස්ථාවේ දෙමළ භාෂාවට දෙවැනි තැන ලබා දී තිබෙන අයුරු දක්නට හැකි විය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඡායාරූපයක් සහිතව භාෂා තුනෙන්ම ‘ජනාධිපති කාර්යාලය’ ලෙස සඳහන්ව තිබූ පසුතලයේ භාෂා තුනම ඉවත් කොට ජනාධිපති ලේකම් කාර්යාලයේ රූපයක් පමණක් ඉතිරි කර ඇත.
මේ අඩුපාඩු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් කිංස්ලි රත්නායක පවසා තිබුණේ, මුලින් නිකුත් කළ ඡායාරූප සහ අදාළ තොරතුරු ඩමියක් පමණක් බවයි.