ලේක්හවුස් දැඩි මූල්‍ය අර්බුදයක – රැස පුවත්පත වසා දමන්නත් ඇමතිගෙන් නියෝග

ලේක්හවුස් ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන රැස පුවත්පත වසා දමන ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් නියෝග කර තිබේ. ඒ රැස පුවත්පත පාඩු ලබමින් පවත්වාගෙන යෑමට සිදුවීම නිසා ලේක්හවුස් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පෑමට සිදුවීම නිසාය.
රැස දිනපතා පුවත්පත මාසිකව රුපියල් ලක්ෂ 70 ක පමණ පාඩුවක් ලබන අතර ඒ හේතුවෙන් මේ වන විට ලේක්හවුස් ආයතනයේ සියලු සුබසාධන කටයුතු සියයට 75%කින් පමණ කපා දමා තිබේ. ආයතනයේ ප්‍රවාහන අංශයේ යොදවා ඇති පුද්ගලික වාහන සඳහා මාසික කුලී මුදල් ගෙවීම් කරන ලද චෙක්පත් අගරු වී තිබේ. මුද්‍රණය අංශයේ සේවකයන් වෙත ලබා දෙන සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ සබන් ලබා දීමට හෝ මුදල් යෙදවිය නොහැකි මට්ටමේ මුදල් අර්බුදයක් ඇතිව තිබේ. ලේක්හවුස් ආයතනය පසුගිය 2019 ජුනි මස සේවක වැටුප් ගෙවුයේ ඩී.එෆ්.සී.සී බැංකුවෙන් ලබා ගත් ණය මුදලකිනි. 2019 ජුලි මස සේවක වැටුප් ගෙවුයේ කොමර්ෂල් බැංකුවේ ණය මුදලක් ලබා ගැනීමෙනි. මේ වන විට ලේක්හවුස් ආයතනයේ සතු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ජංගම ගිණුම් දෙකම සම්පූර්ණයෙන්ම අගය බින්දුව බවට පත්ව තිබේ.
ගිය වසරේ ලේක්හවුස් සමස්ථ අලාභය රුපියල් මිලියන 150 ක්(රුපියල් ලක්ෂ 1500/=) වු අතර රැස දිනපතා පුවත්පතේ අලාභය රුපියල් මිලියන 77 ක් (රුපියල් ලක්ෂ 770 ක් ) විය.