අසමත්කම් වසා ගැනීමේ පරණ උපක්‍රමයඅටුළුගමින් තිහාරියට !

Read Time:14 Minute, 39 Second

අටුළුගම
වාහනයකට ඔයිල් යොදන්නේ ඇයි ? වාහනයේ හැම අස්සක්-මුල්ලකටම ගොස් ඒ තැන්වල ඇති පීඩනය අවම කිරීමට යැයි ඊට සරලව උත්තරයක් දිය හැකි ය. වර්තමාන ආණ්ඩුවත් ඒ වගේ ය. සමාජයෙන් එන විරෝධය පාලනය කිරීම සඳහා ජාතිවාදය හෝ ආගම්වාදය හෝ කුමන ආකාරයක හෝ අන්තවාදයක් භාවිත කරයි.
බණ්ඩාරගම, අටුළුගම කතාවත් එහි දිගුවකි. යම් ප්‍රජාවක් නියෝජනය කරන පුද්ගලයකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කෙළගැසීමේ සිදුවීමක් බහුතරයක් මාධ්‍ය මඟින් ජනතාව අතරට ගෙන ගියේ අනෙකා කෙරෙහි විරෝධයක් ඇති වන ආකාරයෙන් ය. එම පුද්ගලයා අටුළුගම ප්‍රජාව විසින් පසෙකට කළ අයකු බවත්, ඔහු තුන්වරක් රක්ෂිත බන්ධනාගාරගත වී සිටි අයකු බවත්, මානසික ආබාධයක් සහිත අයකු බවත් යනාදී වශයෙන් ඔහු කවුරුන් දැයි ඒ මාධ්‍ය හෝ ආණ්ඩුව හෝ නියෝජනය කරමින් ඒ සිදුවීම සම්බන්ධයෙන් ජනතාව උසිගන්වන ආකාරයෙන් කතා කළ පිරිස් කිව්වේ නැත. එසේ කීමෙන් අප අදහස් කරන්නේ පුද්ගලයකු පසෙකට කිරීම සාධාරණ බවක් හෝ රක්ෂිත බන්ධනාගාරගත කළ අයකුට එසේ කළ යුතු බවක් කීම නොවේ. අපට අවශ්‍ය වන්නේ ඔහු කළ ක්‍රියාව, අටුළුගම සමස්තයේ කතාව ලෙස දිගහැරීම අනුමත කළ නොහැකි බව කියන්නට ය. පුද්ගල නිදහස සහ සමාන අයිතිවාසිකම් සියල්ලන්ට ලැබිය යුතු ය.
අටුළුගම යනු සාපේක්ෂව හෘද රෝගීන් සහ දියවැඩියා රෝගීන් වැඩි ප්‍රදේශයකි. එම නිසා කළ යුතුව තිබූ වැදගත් කාර්යයක් වූයේ කොවිඞ් 19 වෛරසය මෙවැනි රෝගීන්ට බරපතළ ලෙස බලපෑම් කරන බව වටහා දීම ය. ප්‍රදේශවාසීන්ට අනුව සමාජය පොදුවේ පිළිගන්නා ආකාරයට මෙහි බහුතරයකගේ අධ්‍යාපන මට්ටම අඩු ය. ඊට හේතුව ඔවුන් ගැටවර වියේ සිට ම ව්‍යාපාරික කටයුතුවල යෙදීම ය. එම නිසා ඔවුන්ට රෝගය ගැන නිවැරැදි වැටහීමක් නොතිබුණා ද විය හැකි ය. එබැවින්, පී.සී.ආර්. පරීක්ෂණ පිළිබඳ ගැටලුව මතු වුණා විය හැකි ය. කෙසේ වෙතත්, එයින් අදහස් කරන්නේ කොවිඞ් 19 හෝ වෙනත් තත්ත්වයක් සම්බන්ධයෙන් පිළිගත් නීතියක් කඩ කිරීමට ඉඩ දිය යුතු බවක් නොවේ. ‘නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ’ යනුවෙන් පිළිගන්නා බහුතර මතයක් රටේ තිබේ. අධිකරණයේ දී ද එසේ පිළිගැනේ.
මේ සම්බන්ධයෙන් විමසීමට අප අටුළුගම දෙපැත්ත භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාට ම දුරකථන ඇමතුම් ලබා දුන්න ද, ඔවුන් පැවසුවේ, මාධ්‍යයට කිසිදු අදහසක් පළ කළ නොහැකි බවයි. ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයාගේ ප්‍රතිචාරය ද ඊට වෙනස් නොවී ය.
ඇත්ත කතාව වසා තමන්ගේ අසමත්කම් වසා ගැනීමේ දේශපාලන උපක්‍රමයක් වෙනුවෙන් මිනිසුන් භේදබින්න කරන මේ ක්‍රියාවලියට අප විරුද්ධ ය. අටුළුගම කළේත් ඒක ය. තිහාරියේ කරන්නට දඟලන්නේත් ඒක ය. තිහාරියේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සෞඛ්‍ය අංශ නියෝජනය කරන ඇතැම් පාර්ශ්ව, ඒකපාර්ශ්විකව විවිධ කතා කියද්දී, ආචාරධාර්මික මාධ්‍ය භාවිතාවක නිරතවෙමින් නිලූක සඳුන් ඒ සම්බන්ධයෙන් සියලු‍ පාර්ශ්වවල අදහස් විමසා සකස් කළ ලිපියක් පහත පළ වේ.
ඔවුන් මට නම් සපෝටිව්
– තිහාරිය භාර මහජන
 සෞඛ්‍ය පරීක්ෂක
කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වන වරද යළිත් වරක් මුස්ලිම් ජනතාව පිට පැටවී⁣මේ උත්සාහයක් පවතින බව තිහාරිය ප්‍රදේශවාසීහු පවසති.
පී‍‍‍.සී.ආර්. සඳහා සහ කොරෝනා පාලනය සඳහා සහාය නොදක්වන බවට තිහාරිය වැනි මුස්ලිම් ප්‍රජාව වැඩි සංඛ්‍යාවක් ජීවත් වන ප්‍රදේශ මතු කර දක්වමින් ප්‍රධාන මාධ්‍ය විසින් සෞඛ්‍ය නිලධාරීන් උපුටා දක්වමින් මේ දිනවල දැඩි ප්‍රචාරයක් ගෙන යන ආකාරයක් දක්නට ලැබිණි.
මේ ආකාරයෙන් මුස්ලිම් ජාතිය ඉස්මතු කරමින් ඕනෑ තරම් පුවත් පළ වුව ද, කිසිම තැනක වගකීම් විරහිතව ක්‍රියා කරන සිංහල ප්‍රජාව ගැන ජාතිය හුවාදක්වමින් පුවත් පැතිර නොගිය බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවකු ප්‍රශ්න කළේ ද නැති බවත් තිහාරිය ප්‍රදේශයේ පදිංචි නම සඳහන් කිරීමට අකැමැති තරුණයෙක් පැවසී ය.
තිහාරියේ මුස්ලිම් වැසියන් පී.සී.ආර්. සඳහා සහය නොදක්වන්නේ දැයි එම තරුණයාගෙන් කළ විමසීමේ දී පැවසූවේ පී.සී.ආර්. සඳහා තම ප්‍රදේශවාසීන් සහාය නොදෙන බවට තමා දැනගත්තේ ද මාධ්‍ය මඟින් බවත්, එවන් ගැටලුවක් තම ප්‍රදේශයේ නොමැති බවත් ය.
පී.සී.ආර්. කිරීම සඳහා සහයෝගය ලබා දෙන්නේ තිහාරියේ ප්‍රධාන මුස්ලිම් පල්ලිය වන රව්ලා දේවස්ථානය බවත්, පී.සී.ආර්. කරන්නේ ද එම පල්ලිය ඉදිරියේ බවත් ඔහු සඳහන් කළේ ය.
අප සමග අදහස් දක්වමින් ඔහු මෙසේද කීවේ ය:
“එහෙම දෙයක් ඇත්තටම මෙහෙ නෑ. කට්ටිය පී.සී.ආර්. කර ගන්නවා. ගමේ අය උදවු කරනවා. ප්‍රධාන මාධ්‍ය බොරුව මාකට් කරන හැටි පුදුමයි. මෙහෙ නැති දෙයක් මවලා පෙන්නන හැටි මාරයි. කිසිම තැනක සිංහල අය කරන වැරැදි ගැන ඒ ජාතිය හුවාදක්වලා එහෙමත් නැත්නම්, ජාතිය මතු කරලා පෙන්වලා නිවුස් යනව ද? මම නම් දැකලා නෑ එහෙම නිවුස් යනවා. අනෙක එහෙම ජාතිය සඳහන් කරලා නිවුස් දාන්න ඕනෙ ද?‘
පහත පළවන්නේ තිහාරිය සම්බන්ධයෙන් පසුගිය දින දෙකක දී පළ වූ පුවත් ය.
‘අද’ පුවත් පතේ වෙබ් අඩවිය
– දෙසැම්බර් 07
“තිහාරිය ප්‍රදේශයේ ජීවත් වන ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උදා වී ඇති බවත්, මෙම තත්ත්වය අටුළුගම ප්‍රදේශයේ උද්ගත වූ තත්ත්වයට සමාන බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසී ය.”
එම වෙබ් අඩවියම ඊට පසුදින, එනම් 08 වැනි දින වාර්තා කළේ මෙසේ ය:
“අත්තනගල්ල, තිහාරිය ප්‍රදේශවාසීන් අද දින විශේෂ විරෝධතාවකින් තොරව පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ට සාමකාමීව සහාය ලබා දුන් බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේ ය.”
මෙවැනි පුවත් ගණනාවක් දිනපතා පුවත් පත් වාර්තා කර තිබිණි. නමුත්, මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව පාර්ශ්වයෙන් සිදු කරන ලද විමසීමක් වාර්තා වී තිබුණේ නැත.
මේ සම්බන්ධයෙන් තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම්. අබ්දුල්ලා පැවසුවේ, මෙම හුවාදැක්වීම සම්පූර්ණයෙන් ම අසත්‍යය බවත්, ප්‍රදේශයේ ජනතාව ඊට හැකි උපරිමයෙන් සහාය දැක් වූ බවත් ය.
“ඒක තනිකර බොරුවක් නේ. අපේ නම් එහෙම ගැටලුවක් නෑ. පී.සී.ආර්. කරන්න එන්න කිව්වම යනවා. අකැමැති වෙන්න හේතුවක් නෑ නෙ. අපේ හොඳටම නෙ කියන්නෙ. දැනට ගොඩක් කරලා තියෙන්නෙ මම දන්න විදියට. වැරැද්ද ජාතිවාදයෙන් යවන්නයි හදන්නෙ.” ඔහු එසේ ද පැවසී ය.
කවුරුන් කුමක් කීව ද, මෙහි දී වැදගත්ම චරිතය වන්නේ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ය. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී තිහාරිය ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වන කේ. පී. ටෙරන්ස් මාධව පරණවිතාන මහතා පැවසුවේ තමා භාරව සිටින ප්‍රදේශයේ පල්ලි 14ක් ඇති බවත්, එම පල්ලිවල පූජකවරුන් ඇතුළුව ප්‍රදේශයේ ජනතාව තමන් සමඟ ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරන බවත්, මාධ්‍යවල පළ වන ආකාරයේ ගැටලුවක් තිහාරියේ නොමැති බවත් ය. එම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ විධිමත්ව සිදු කර ඇතැයි ද, ඒ සඳහා එම ජනතාවගේ සහාය ලැබුණු බව ද ඔහු සඳහන් කළේ ය.
ඇතැම් මාධ්‍ය තිහාරිය අටුළුගමට
සමාන කරමින් පැයෙන්-පැය පුවත්වල පවා ප්‍රචාරය කළ ද, මෙහි එවැනි තත්ත්වයක් නොමැති බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.
“ඒක නිකම් අලියා අතගෑවා වගේ දෙයක්. කවුරුත් හරියට දන්නෙ නෑ මෙහෙ වෙන්නෙ මොකක් ද කියලා. ඒත් ඒ ගැන බොරු ප්‍රවෘත්ති දානවා. ඔවුන් මට නම් හරිම සපෝටිව්. මාත් එක්ක හරි එකතුයි. මට නම් උදවු කරනවා ඒ අය. ඒ පල්ලිවල සභාපතිවරු, මවුලවිවරු මට ලොකු සහයෝගයක් දෙනවා.
“ඒ අයගෙත් සහායෙන් මම මූලික වෙලා මේ ප්‍රදේශයේ කොවිඞ්-19 පාලන කොමිටියක් පවා හදලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම අපි ප්‍රශ්නයක් නැතිව පී.සී.ආර්. කරගෙන යනවා. පොලිසියේ අය මෙන් ම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ද සහාය දක්වනවා. පොඩි පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන්. ජනතාවගේ පොඩි බයක් තියෙනවා මේ පරීක්ෂණයට. ඒක ඇත්ත. නමුත්, අපි එකතු වෙලා හොඳට වැඩ කරගෙන යනවා. එයාලා මට සහාය දෙන්නෙ නෑ කියන කතාව බොරු.” ඔහු වැඩි දුරටත් අප සමඟ අදහස් දක්වමින් එසේ ද සඳහන් කළේ ය.
තිහාරියේ ඇතැම් පිරිස් මීට සහාය දක්වද්දී, තවත් පිරිසක් සහාය නොදක්වන බව මේ පිළිබඳව කළ විමසීමක දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ ය. ප්‍රදේශයේ පවතින කොරෝනා අවදානම පිටත ප්‍රදේශවලට නොයාම සඳහා ආගමික සහ දේශපාලන නායකත්වය මුල් විය යුතු බව ද ඔහු කීවේ ය.
මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු ෆේස්බුක්හි පළ කර තිබූ සටහනක් පහත දැක්වේ.
“ඇතැම් ජනමාධ්‍ය තිහාරියේ ජනයා පී.සී.ආර් පරීක්ෂණවලට යොමු නොවී මඟහරින බවට ප්‍රචාරය කරමින් සිටින්නේ ආණ්ඩුවේ අසමත්කම වසා ගැනීමට අහිංසක මුස්ලිම් ප්‍රජාවට සුපුරුදු ලෙස බෝලේ පාස් කරමිනි. එම ජන මාධ්‍ය ඕනෑකමින් ම ඉකුත් නොවැම්බර් 30 වනදා තිහාරිය ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය වන රව්ලා දේවස්ථානය ඉදිරිපිට දී කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 87න් 99%ක් මුස්ලිම් පිරිස් වූ බවත්, එම පරීක්ෂණ පැවැත්වීමට සියලු‍ පහසුකම් සලසා දුන්නේත් මුස්ලිම් ජනතාව විසින්ම ය. ඒ බව ප්‍රසිද්ධ නොකරන්නේ කිසියම් යටි අරමුණක් සහ න්‍යාය පත්‍රයකට අනුව බව සුපැහැදිලි ය. ඒ විතරක් නොවෙයි, දෙවන වරටත් ඉකුත් 5 වැනිදා 237 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පැමිණ සිටි අතර, 99%ක් දෙනා තිහාරියේ මුස්ලිම් ප්‍රජාව බව වගකීමෙන් කිව හැකි ය. එම පරීක්ෂණය පැවැත්වීමටත් සහයෝගය ලබා දී තිබුණේ, රව්ලා දේවස්ථානයයි.
තෙවන වරටත් 8/12/2020 දින 241 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සහභාගී විය. පවත්වන ලද එම පරීක්ෂණයට යොමු වන ලෙස ගම්වැසියන්ගෙන් ප්‍රදේශයේ සියලු‍ම දේවස්ථාන ලවුඞ්ස්පීකර් මඟින් නිවේදනය කරමින් ඉල්ලා සිටියේ ප්‍රජා වගකීම මනාව දත් නිසා ය. නමුත් අවාසනාවකට ඇතැම්හු ‘වට්සැප්’ සහ ‘ෆේස්බුක්’ හරහා තිහාරියේ ජනතාව පරීක්ෂණවලට යොමු නොවනවා යැයි ප්‍රචාරය කරමින් සිටිති. එනිසා නිර්ලජ්ජිත ලෙස බොරු ප්‍රචාරය කරන්නන් තම හෙලුව වසා ගැනීමට තැටිය පෙරළීම ප්‍රජාවක් ලෙස අපි තරයේ හෙළා දකිමින් සාමකාමී රටක් ගොඩනැඟීමට වෛරී අදහස් ප්‍රචාරය නොකර ඔබේ සමාජ වගකීම ඉටුකරන ලෙස අවධාරණය කරන්නට කැමැත්තෙමු.”
නිල වශයෙන් අදාළ වගකීම දරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ පිළිබඳව පවසන්නේ කුමක් ද යන්න සම්බන්ධයෙන් අපට පෙර කිසිදු මාධ්‍යයක් විමසා තිබුණේ නැත. මේ කියන ආකාරයට ඔවුන් බාධා කිරීම් කරන්නේ නම්, නිරෝධායන නීතිය යටතේ ඔවුන් අත්අඩංගුවට නොගත්තේ ඇයි ?
මාධ්‍ය යනු තව දුරටත් තොරතුරු දැනගැනීමේ මෙවලමක් නොව, විවිධ අවශ්‍යතා මත ජනතාව මෙහෙයැවීමේ මෙවලමක් බව යළි යළිත් තහවුරු වෙමින් තිබේ.
– ශාලික විමලසේන 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Leave a Reply

Your email address will not be published.

Previous post අද දිනයේ කොරෝනා ආසාදිතයන් 592 ක්
Next post දරුවන්ගේ අධ්‍යාපන බිඳවැටීම් වලට විසඳුම් ඉල්ලා හොරණ විරෝධය