මාරයා රජවූ මහර !

Read Time:26 Minute, 19 Second

පසුගිය දින කිහිපය තුළ දී මහර බන්ධනාගාරයේ සිදුවූ කලහකාරී හැසිරීමට හේතුසාධක වූයේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන ඖෂධ එම රැඳවියන් විසින් භාවිත කිරීම බවට මාධ්‍ය මඟින් ප්‍රචාරය කර තිබිණි. මෙම ප්‍රකාශය ජනතාව තුළ වැරැදි ආකල්පයක් මානසික රෝග සහ ඒ හා සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව ඇති කරන හෙයින් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පහත පැහැදිලි කිරීම සිදු කෙරේ.
මානසික රෝගීන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්විය හැකි යැයි අද සමාජයේ තිබෙන මතය ද මෙම පුවතට බලපාන්නට ඇති නමුත්, බොහෝ විට සිදු වන්නේ මානසික රෝගීන් නිසා අන් අයට කරදර සිදු වනවාට වඩා අන් අයගෙන් රෝගීන් අපහසුතාවට පත්වීමයි.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානසික රෝගවලට භාවිත කරන ඖෂධ දැනට ලෝකය පුරා බහුලව භාවිත වන අතර, ඒවා අන්තර්ජාතික හා ජාතික වශයෙන් පිළිගත් නියාමනයන්ට යටත් වේ. මෙම ඖෂධ ලංකාවේ දැනට දශක ගණනාවක් තුළ අන්තර්ජාතික පිළිගැනීම්වලට අනුව නිර්දේශ කිරීම තුළින් අතිමහත් රෝගීන් සංඛ්‍යාවකගේ මානසික රෝග සමනය වූවා පමණක් නොව, ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට ද හේතු විය. මෙම ඖෂධ කිසි විටෙක ප්‍රචණ්ඩත්වය ඇති නොකරන අතර, කලහකාරී බව අඩු කිරීමට උපයෝගී කර ගැනේ.
නිසි ප්‍රතිකාර මඟින් මානසික රෝග බොහෝ දුරට සුව කළ හැකි අතර, නැවත නැවත රෝග තත්ත්වය ඇති වීම වැළැක්වීමට ද හේතු වෙයි. ඒ සඳහා භාවිත කරන ඖෂධ මඟින් කිසිම කලහකාරී හැසිරීමක් ඇති නොවන බවට ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය  වන අපි යළිත් අවධාරණය කර සිටිමු. මෙවැනි ප්‍රවෘත්තිවලින් නොමඟ නොයා මානසික ගැටලු ඇති විට වහාම ප්‍රතිකාරවලට යොමු වන ලෙස ඉල්ලා සිටිමු.
21,000 ක් මොකට ද?
ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය මඟින් පසුගිය 02 දා මෙම නිවේදනය නිකුත් කර තිබිණි. සංගමය වෙනුවෙන් එම නිවේදනය නිකුත් කර තිබුණේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ, වර්තමානයේ කොතලාවල විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ අංශ ප්‍රධානී, මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් විසින් ය. ඊට පෙර දිනයේ (01) බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මාධ්‍ය හමුවක දී සඳහන් කර තිබුණේ බන්ධනාගාර ඖෂධ ගබඩාවේ තිබූ මානසික ආතතියට භාවිත කරන පෙති සහ නිද්‍රාජනක පෙති රැඳවියන් විසින් ලබාගෙන ඇති බවත්, එය ඔවුන්ගේ කලහකාරීත්වයට හේතුවක් වී ඇති බවත් ය. දැනට තුවාළ ලබා රෝහල්ගතව සිටින රැඳවියන් ද අදාළ පෙති
ලබා ගැනීම නිසා තවමත් ව්‍යාකූලත්වයෙන් හැසිරෙන බව ද කොමසාරිස්වරයා විසින් සඳහන් කර තිබිණි. මෙවැනි පෙති 21,000ක් පමණ අදාළ ඖෂධ ගබඩාවේ තිබී ඇති බවත්, එපමණ ප්‍රමාණයක් එහි ගබඩා කර තිබුණේ ඇයි ද යන ගැටලුව මතු වන බවත් ඔහු විසින් වැඩි දුරටත් මෙහි දී අවධාරණය කර තිබිණි.
වෛද්‍යවරයකුගේ සම්බන්ධයක් ‍
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද මේ අදහස පළ කර තිබූ අතර, ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණේ මෙම සිද්ධියට මහර බන්ධනාගාරයේ වෛද්‍යවරයකු ද සම්බන්ධ වී ඇතැයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි. ඒ සඳහන් කර තිබුණේ මහර බන්ධනාගාර
රෝහලේ වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න පිළිබඳව ය. සිද්ධියෙන් පසු ඔහුට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් දී තිබුණේ කොවිඞ් 19 වෛරස් ආසාදිතයන් සමඟ සිටි නිසා නිවසේ නිරෝධායනය වන ලෙසයි. කෙසේ වෙතත්, එය වාචිකව ලබා දුන් උපදෙසකි. මේ නිසා වෛද්‍යවරයාගේ පාර්ශ්වයෙන් අමාත්‍යාංශයට මේ පිළිබඳ දැනුම්වත් කරමින් විද්‍යුත් ලිපියක් යවා තිබේ. ඒ අතරවාරයේ ය, මේ පෙති කතාව කරළියට එන්නේ.
වැලිකඩ මෙහෙයුම මහරට !
පෙති 21,000 සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ පෝස්ටුවක සඳහන් වූයේ එය මහර බන්ධනාගාරය
සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත ඖෂධ ප්‍රමාණයක් බවයි. එම පෝස්ටුවේ මුල් හිමිකරු ලෙස අදාළ වෛද්‍යවරයාගේ නම ද සඳහන් විය. මෙම පෙති කතාව මුලින්ම පවසන ලද්දේ විමල් වීරවංශ ඇමැතිවරයා ය. ඒ පසුගිය 30දා පාර්ලිමේන්තුවේ දී ය. ඔහු පැවසුවේ ‘සරප්’ හෙවත් ‘රිවස්’ නමැති පෙති වර්ගයක් මඟින් මෙවැනි තත්ත්වයක් වැලිකඩ බන්ධනාගාරයේ ද ඇති කිරීමේ සැලැස්මක් තිබූ බවත්, බුද්ධි අංශ මඟින් එය අනාවරණය කරගෙන වැළැක් වූ බවත් ය. ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකුගේ ගෝලයෙක් එය සිදු කිරීමට සැලසුම් කර තිබූ බව ද ඇමැතිවරයා එහිදී පැවසී ය. කෙසේ වෙතත්, මහර දී එය වළක්වා ගැනීමට නොහැකි වූ බවත්, එයත් මේ පෙති මෙහෙයුමක් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේ ය.
සිද්ධිය පසෙක තබා පෙති කතාව පිළිබඳව පමණක් ලිපියේ මුල සිටම අවධානය යොමු කරන ලද්දේ එය මෙහි තීරණාත්මක කරුණක් වන නිසා ය. විමල් වීරවංශ ඇමැතිවරයාගේ ප්‍රකාශය සත්‍යයක් නම්, වැලිකඩ වළක්වන ලද මෙහෙයුම මෙහි දී වළක්වා ගැනීමට නොහැකි වූයේ ඇයි ? බන්ධනාගාරගත සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයන්ගේ සම්බන්ධතා පිළිබඳ බන්ධනාගාර බුද්ධි අංශ නොදන්නේ ද? ඔවුන් දුරකථන මාර්ගයෙන් අනෙකුත් බන්ධනාගාර සමඟ සම්බන්ධකම් පවත්වන බව අවස්ථා ගණනාවක දී ම බන්ධනාගාර නිලධාරීන් විසින් ම මාධ්‍ය ඉදිරියේ පවසා තිබිණි.
වැලිකඩ තත්ත්වය අනාවරණය කර ගත් පසු අනෙක් තැන් ගැන අවධානයක් යොමු නොකළේ ඇයි ? විශේෂයෙන්ම වැලිකඩ සිට මහරට රැඳවියන් ගෙන ආ තත්ත්වයක් තුළ අඩු තරමේ මහර හෝ මෙවැනි පෙර අවධානයක් තිබී නැත. පසුගිය 02දා මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරුණු මහර ගැටුමට අදාළ වීඩියෝවක හඬ මකා දමා තිබිණි. එහෙත්, සමාජ මාධ්‍ය ඔස්සේ එම වීඩියෝව හඬ සමඟ හුවමාරු විය. එහි සඳහන් වූ ආකාරයට ඉහළින් නියෝග නොලැබීම නිසා බන්ධනාගාර නිලධාරීන්ට මුල් අවස්ථාවේ දී සිරකරුවන් අතර පැවැති ගැටුම් වැළැක්වීමට නොහැකි වී තිබේ.
පාලනයේ වගකීම
මේ සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකුගෙන්
අප කළ විමසීමක දී ඔහු පැවසුවේ මෙවැනි අවස්ථාවලට මුහුණ දීම සම්බන්ධයෙන් බන්ධනාගාර
නිලධාරීන්ට වෙනම පුහුණුවක් ලබා දෙන බවයි. ඔවුන්ට පාලනය කළ නොහැකි අවස්ථාවක දී පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවීමේ බලය බන්ධනාගාර කොමසාරිස්වරයාට ඇති බව ද සඳහන් කළ ඔහු මෙහි දී සාමාන්‍ය සිදුවීමක් ප්‍රචණ්ඩ වන තුරු බලා සිටීමේ තත්ත්වයක් දැකිය හැකි යැයි ද පැවසී ය. බන්ධනාගාර නිලධාරීන්ට සිරකරුවන් සමඟ කටයුතු කරන ආකාරය, හදිසි අවස්ථාවක දී ඔවුන් පාලනය කරන ආකාරය සහ සිරකරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇති බවත්, පොලිසියට හෝ විශේෂ කාර්ය බළකාය වැනි ආරක්ෂක අංශවලට එවැනි පුහුණුවක් නොමැති නිසා මෙසේ වෙඩි තැබීම් සිදු වන බවත් සඳහන් කළ හිටපු කොමසාරිස්වරයා, කොවිඞ් තත්ත්වය හමුවේ කරන ලද ඉල්ලීමක් මූලික කරගෙන ආරම්භ වූ මේ තත්ත්වය බන්ධනාගාර නිලධාරීන් යොදවා පාලනය කිරීමට හැකියාව තිබූ තත්ත්වයක් බව පෙනෙන්නට ඇතැයි ද අවධාරණය කළේ ය.
එසේ නම් වූයේ කුමක් ද? ආණ්ඩුවේ ඇමැතිවරයකු මෙවැනි සැලසුමක් ගැන දැනුම්වත් ය. අදාළ වීඩියෝ පට අනුව මුල් අවස්ථාවේ දී මේ ගැටුම් පාලනයට අදාළ උපදෙස් ලැබී නැත. මේ තත්ත්වයන් නිසා බරපතළ සිදුවීමක් සිදු විය. බරපතළ අපරාධයක් සිදු විය. ඉන් පසු හදිසියේම පෙති කතාවක් කරළියට ආවේ ය. ඇමැතිවරයා, ඉන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඉන් පසු බන්ධනාගාරයේ පාලන කොමසාරිස්වරයා ආදී වශයෙන් පිළිවෙළින් ආණ්ඩු පාර්ශ්වය පෙති කතාව සමාජගත කළේ ය. ඉන් පසු පෙති පිළිබඳව දන්නා, විශේෂයෙන්ම මානසික ආතතියට ලබාදෙන මේ කියන ආකාරයේ පෙති පිළිබඳව දැනුම ඇති මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය කිව්වේ, මෙම පෙතිවලින් ආණ්ඩුව කියන ආකාරයේ ප්‍රචණ්ඩ හැසිරීමක් සිදු නොවන බවයි. නිද්‍රාවට පත් වීම හෝ මනස කලබලයකින් තොර වීම මෙමඟින් සිදු වන බව ඔවුහු අවධාරණය කරති.
පෙති කතාවට පිළිතුරු නැත
එහෙත්, පෙති කතාව ඉදිරිපත් කළ නිල පාර්ශ්ව විසින් මෙම ලිපිය ලියූ බ්‍රහස්පතින්දා දහවල් වන තුරු ඊට පිළිතුරක් ලබා දී තිබුණේ නැත. ඒ වෙනුවට ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විවිධ පිළිතුරු ලබා දෙමින්, වෛද්‍යවරුන්ගේ අදාළ තර්කය විෂයගත නොවන මඩ සහ ව්‍යාජ පුවත් මවමින් හෑල්ලු‍වට ලක් කරන්නට උත්සාහ කරනු දැකිය හැකි විය. කෙසේ වෙතත්, දැන් මෙම සිදුවීමට අදාළ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ. ඔවුන්ට මුලින්ම පෙත්තේ අග-මුල බේරා ගන්නට සිදු වී ඇත. නැත්නම් පෙත්ත උගුරේ හිර වී පෙත්තප්පුලාට මේ සිද්ධියේ වගකීම කාගේ හෝ කරපිට දාන මෙහෙයුම කරන්නට නොහැකි වනු ඇත.
මහරින් ආසාදිතයන් 183 ක්
කොවිඞ් – 19 වසංගතය මෙරට ව්‍යාප්ත වූ 2020 මාර්තු මාසයේ සිට ජුලි මාසය දක්වා වූ පළමු අදියරේ දී බන්ධනාගාර තුළ කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේ අඩුවෙන් ය. නමුත්, ඔක්තෝබර් මාසයේ මුල සිට වාර්තා වූ වසංගතයේ දෙවන රැල්ල තුළ බන්ධනාගාරවලට ද වෛරසය ව්‍යාප්ත විය. නොවැම්බර් 30 වැනිදා වන විට බන්ධනාගාර ආශ්‍රිතව රැඳවියන් සහ සිරකරුවන් 1,091කට වෛරසය ආසාදනය වී තිබිණි. ඒ අතුරින් 1,033 දෙනෙක් රැඳවියන් වූ අතර, 58 දෙනෙක් බන්ධනාගාර නිලධාරීන් වූහ. සිද්ධිය වූ දිනය වන විට ඔවුන් අතුරින් දෙදෙනකු මිය ගොස් තිබිණි. නොවැම්බර් 29 වැනිදා සිදුවීම ආරම්භ වන අවස්ථාවේ මහර බන්ධනාගාරයෙන් ආසාදිතයන් 183ක් වාර්තා වී තිබිණි.
කොවිඞ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය අවම සනීපාරක්ෂක පහසුකම් පවා
බන්ධනාගාර තුළ නොවී ය. නිදසුනක් ලෙස බන්ධනාගාරවලට ඔරොත්තු නොදෙන තරමේ විශාල තදබදය නිසා රෝගය පාලනයකින් තොරව පැතිරී යමින් තිබිණි. අදාළ සිදුවීම ඇති වූ මහර බන්ධනාගාරයේ ඉඩ පහසුකම් ඇත්තේ රැඳවියන් 1,000කට පමණි. එහෙත්, සිදුවීම වන අවස්ථාවේ රැඳවියන් 2,300ක් පමණ එහි රඳවා තිබිණි. පොදුවේ ලංකාවේ බන්ධනාගාරගත 26,000ක් පමණ වන රැඳවියන්ගේ පොදු තත්ත්වය එයයි.
ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා සමාජ දුරස්ථභාවය පවත්වා ගත නොහැකි වීමට අමතරව ජලය, වැසිකිළි ආදී පහසුකම්වල ගැටලු නිසා විශේෂයෙන්ම මහර බන්ධනාගරයේ තත්ත්වය අතිශය බරපතළ විය. රෝගය වැළfඳන්නන් සහ රෝග ලක්ෂණ පෙන්වන්නන් අනෙකුත් අය සමඟ එකට රඳවා තැබීම නිසා වෛරස ව්‍යාප්තියේ අවදානම තවත් වැඩි විය. එසේම රෝගීන්ගේ ආශ්‍රිතයන්ට සහ රෝග ලක්ෂණ පෙන්වන්නන්ට පවා කොවිඞ් වෛරසය හඳුනා ගැනීම සඳහා සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණ නොකිරීම නිසා රැඳවියන්ගේ ආතතිය වැඩි වෙමින් තිබිණි. ආහාර ලැබීම අක්‍රමවත් වීම, ආහාර ප්‍රමාණවත් නොවීම සහ ලැබෙන ආහාර මිනිස් පරිභෝජනයට නුසුදුසු වීම යන හේතු නිසා තත්ත්වය තවත් පීඩාකාරී වී ඇත. පවතින වසංගත තත්ත්වය යටතේ උසාවි ක්‍රියාමාර්ග ඉක්මන් කිරීම, ඇප ලබා දිය හැකි අයට ඇප ලබා දීම සහ සිරකරුවන් සම්බන්ධයෙන් සිව් වස් සමාලෝචනය කිරීම යන ඉල්ලීම්වලට ද බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත.
සාකච්ඡා සහ ගැටුම්
මහර සිදුවීමට දින හතරකට පමණ පෙර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ද, පසුව අඟු‍ණකොළපැලැස්ස සහ මීගමුව බන්ධනාගාරවල රැඳවියන් ද ඉහත තත්ත්වයන් පෙන්වා දෙමින් උද්ඝෝෂණ කිරීම ඇරඹූහ. මහර බන්ධනාගාරයේ රැඳවියන් ද එසේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ විය. ඒ නොවැම්බර් 29 වැනිදා ය. රැඳවියන් පැවසූ ආකාරයට නොවැම්බර් 29දා සවස පහට පමණ සිය ඉල්ලීම් පිළිබඳව බන්ධනාගාර පරිපාලනය සමග සාකච්ඡා කිරීමට රැඳවියන්ගේ නියෝජිත පිරිසක් ගොස් ඇත. ඔවුන් සමග සාකච්ඡා කිරීම වෙනුවට ඔවුන් දණගස්වා, පොලු‍වලින් පහර දීම නිසා කෝපයට පත් රැඳවියන් ගැටුමක් ආරම්භ කළ බව රැඳවියෝ පැවසූහ. එහි දී විශේෂ කාර්ය බළකාය පැමිණ අමානුෂික අයුරින් වෙඩි තැබූ බව ද ඔවුහු පැවසූහ. නමුත්, පොලිසිය සඳහන් කළේ රැඳවියන් පිරිසක් ගැටුම අවස්ථාවේ ප්‍රධාන දොරටුවෙන් පලා යාමට පැමිණීම නිසා තත්ත්වය පාලනය කිරීමට වෙඩි තැබීමට සිදු වූ බවයි.
කෙසේ හෝ මෙම සිදුවීමෙන් 11 දෙනෙක් මිය ගියහ. 106 දෙනකු බරපතළ තුවාළ ලබා තිබිණි. ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට නොහැකි වීම නිසා පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට පියවර ගත් බවත්, බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මඟින් පොලිස් කණ්ඩායම් පහක් යෙදවීමට පියවර ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍යයට පැවසී ය.
එදින රාත්‍රී අටට පමණ බන්ධනාගාරය තුළ ගිනි ගැනීමක් සහ පිපිරීමක් වාර්තා විය. බන්ධනාගාර නිලධාරීන් පවසා තිබුණේ සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට, ලේඛනාගාරයට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබූ බව ය. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ හයක් යෙදවිණි. බන්ධනාගාරය තුළ කොවිඞ් ආසාදිතයන් වාර්තා වීමත් සමඟ රැඳවියන් පිරිසක් පලා යාමට තැත් කළ බවක් ද පොලිසිය පාර්ශ්වයෙන් පවසා තිබිණි. රෝහල්ගත කළ රැඳවියන් 71 දෙනාගෙන් 48 දෙනකුට කොවිඞ් වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කර තිබූ අතර, ඒ අතුරින් 26 දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බව නොවැම්බර් 30 වැනිදා පස්වරුවේ රාගම රෝහල් බලධාරීන් විසින් තහවුරු කරන ලදී. ඒ අනුව රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් රැඳවියන්ට තිබූ සැකය නිවැරැදි බව තහවුරු විය.
අදිසි හස්තයක්
මේ සිදුවීම විමර්ශනය කර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබි්‍ර විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබී ය. එම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ පත් කොට තිබෙන අතර, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරයි. පසුව අජිත් රෝහණ කමිටුවෙන් ඉවත් වන බව ඇමැතිවරයාට ලිඛිතව දැනුම් දී තිබිණි.
නොවැම්බර් 30 වැනිදා පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් බන්ධනාගාර
ප්‍රතිසංස්කරණ ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ මෙය අදිසි හස්තයකින් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් බව ය. එහෙත්, බන්ධනාගාරවල පැවැති සාධාරණ ප්‍රශ්න ප්‍රමාණයක් කඩිනමින් විසඳීමට රජය අසමත් වීම මෙම ගැටුමට බලපෑ බව ද ඇමැතිවරිය සඳහන් කළා ය.
පිටතත් නොසන්සුන්
නොවැම්බර් 30 වැනිදා පෙරවරුවේ සිට ම තත්ත්වය සම්පූර්ණයෙන් ම පාලනය කර ඇතැයි මාධ්‍ය මඟින් පැවසුණ ද, මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් රමණී මුත්තෙට්ටුවේගම ඇතුළු විමර්ශන නිලධාරීන්ට පවා බන්ධනාගාරයේ සියලු‍ ස්ථානවලට යාමට අවස්ථාව ලැබී තිබුණේ නැත. ඊට හේතු වී තිබුණේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවයි. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පාර්ශ්ව පවසා තිබුණේ ඔවුන්ට
බන්ධනාගාරය තුළට ඇතුළු වීමට ඉඩ නොලැබුණු බවකි. එහෙත්, එය අසත්‍යය බව කොමිසම පසුව තහවුරු කළේය. මේ වන විට බන්ධනාගාර තාප්පයට පිටින් රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් රැස්ව සිටි අතර, පොලිසිය විසින් ඔවුන් වරින්වර එතැනින් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. ඔවුන්ගෙන් ඇතැමුන් පැවසුවේ තමන්ගේ පුත්‍රයාට හෝ ස්වාමියාට අධිකරණයෙන් ඇප ලැබී තිබුණ ද, කොවිඞ් වෛරසය හඳුනා ගැනීම සඳහා වන පී.සී.ආර්. පරීක්ෂණ නොකිරීම නිසා බන්ධනාගාරයෙන් එළියට ඒමට නොදෙන බවයි. තුවාළ ලැබූවන් සහ මියගිය රැඳවියන් පිළිබඳ නිශ්චිත තොරතුරු ඔවුන්ට ලබා නොදීම නිසා
බන්ධනාගාරයෙන් පිටත තත්ත්වය නොසන්සුන් විය.
කෙසේ වෙතත් පසු දින, නොවැම්බර් 30දා රාත්‍රී 8ට පමණ ද නැවත බන්ධනාගාර පරිශ්‍රයෙන් වෙඩි හඬ කිහිපයක් සමඟ විලාප හඬක් ඇසී තිබිණි. 2012 නොවැම්බර් 09 දින වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනකු ඝාතනය කිරීමේ අපරාධය පිළිබඳ අසා ඇති ප්‍රදේශවාසීහු සිදුවන්නේ කුමක් දැයි සිතා ගත්හ. කෙසේ වෙතත්, පසුව මාධ්‍යයට අදහස් දක්වමින් පොලිසිය පාර්ශ්වයෙන් පැවසුවේ රැඳවියන් පිරිසක් ගේට්ටුව අසලට පැමිණීම නිසා ඔවුන් පලවා හැරීමට අහසට වෙඩි තැබූ බවයි.
විමර්ශකයන්  කොතැනට ද?
මේ සිදුවීම පුවත් පත් මඟින් වාර්තා කළ ආකාරයේ කැරැල්ලක් ද, ගැටුමක් වැළැක්වීමට අවශ්‍ය තීරණ නොගැනීම නිසා සිදු වූවක් ද යනාදී වාද-විවාදවලට පිළිතුරු විමර්ශකයන් සැපයිය යුතු ය. කෙසේ හෝ අධිකරණය මඟින් රාජ්‍ය ආරක්ෂාව භාරයේ තබා සිටි රැඳවියෝ මෙහි දී ඝාතනය වූහ. එය අපරාධයකි. රාජ්‍යය විසින් කරන ලද අපරාධයකි. නොවැම්බර් 10දා වැලිකඩ බන්ධනාගාරයේ සිට යම් ස්ථානයකින් වෙනත් ස්ථානයකට යවන්නේ නම්, පවතින වසංගත තත්ත්වය යටතේ පී.සී.ආර්. පරීක්ෂණ කළ යුතු ය යන නීති උල්ලංඝනය කරමින්, පී.සී.ආර්. පරීක්ෂණ නොකර මහර බන්ධනාගාරයට රැඳවියන් 120ක් රැගෙන විත් තිබිණි. එතැන් සිට කොවිඞ් ව්‍යාප්තිය පිළිබඳ ගැටලු ඇති වීම ඇරැඹිණි. නොවැම්බර් 29 වැනිදා ගැටුමක් දක්වා දුරදිග යන්නේ ද එම මානසිකත්වයයි. සිරකරුවන් ඝාතනයටත් වඩා එම ඝාතනය කිරීම් සාධාරණ බව පවසන පාර්ශ්ව මේ සියලු‍ කරුණු ගැන විමර්ශනාත්මකව බැලීමට අකමැති ය. ඒ ඔවුන් දැනටමත් ගෙන ඇති තීරණය එයින් අවලංගු වන්නට ඉඩ ඇති නිසා ය.
කුට්ටුමනීගේ සිට මහර දක්වා
1983 ජූලි 25 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ දී කුට්ටුමනී හෙවත් සෙල්වරාජා යෝගචන්ද්‍රන් ඇතුළු සිරකරුවන් 35 දෙනකු අධිකරණය විසින් රාජ්‍ය ආරක්ෂාව භාරයට පත් කර සිටියදී ඝාතනය කෙරිණි. ඉන් දින දෙකකට පසු තවත් 17 දෙනකු එහි දී ම ඝාතනය කෙරිණි. 1997 දෙසැම්බර් 12 වැනිදා කළුතර බන්ධනාගාරයේ දී රැඳවියන් තිදෙනකු ද, 2000 ඔක්තෝබර් 25 වැනිදා ගලෙන්බිඳුණුවැව පුනරුත්ථාන මධ්‍යස්ථානයේ දී රැඳවියන් 28 දෙනකු ද, 2012 නොවැම්බර් 09 සහ 10 දෙදින රැඳවියන් 27 දෙනකු ද ඇතුළුව අවස්ථා ගණනාවක දී රාජ්‍ය ආරක්ෂාව භාරයට පත් කර සිටි රැඳවියන් ඝාතනය වූ අතර, මහර බන්ධනාගාරයේ සිදුවීම ද එහි තවත් දිගුවකි. ඉහත සියලු‍ සිදුවීම්වලට අදාළව විධිමත් විමර්ශනයකින් පසු චූදිතයන්ට දඬුවම් ලබා දීමක් සිදු නොවී ය. ගලෙන්බිඳුණුවැව සිදු වීමේ දී පොලිස් නිලධාරීන්ට දඬුවම් ලැබුණ ද, පසුව ඔවුන් නිදොස් කොට නිදහස් කෙරිණි.
කුමන හෝ හේතුවක් මත බන්ධනාගාරය ඇතුළේ සිටින්නන් මරා දැමිය යුතු යැයි කියන, මේ මරා දැමීම් නිවැරදි යැයි කියන, ඔවුන්ගේ මවුපියන් පවා වරදකරුවන් කරන්නට සූදානම් සමාජයක, පක්ෂපාතී නොවන මනසකින් මහර බන්ධනාගාරයේ සිදුවීම විග්‍රහ කර ගැනීම ඔබේ වගකීමකි. කවර තත්ත්වයක් යටතේ වුව ද, කිසිවකු ඝාතනය කරන්නට කිසිවකුට අයිතියක් නැත. රාජ්‍යයට එහි දී ඇත්තේ අතිශය බරපතළ වගකීමකි. සියල්ලන්ට එක සමාන නීතියක් සහිත, නිදහස් රටක් වෙත යාමට මේ අපරාධ රාජ්‍යයේ තවත් සැතපුම් කණු කීයක් පසු කරන්නට සිදු වේ ද?
-ශාලික විමලසේන

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

4 thoughts on “මාරයා රජවූ මහර !

Leave a Reply

Your email address will not be published.

Previous post හිටපු ඇමති ටී.බී.ඒකනායක අභාවප්‍රාප්ත වෙයි
Next post මිලිටරිකරණය හරහා අවුල්කරණය