බුෂ් මහත්තයාගේ ලියුම

Read Time:6 Minute, 45 Second

මෙවර මැතිවරණයෙන් තේරී පත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපති. ඇමෙරිකානු ව්‍යවස්ථාව අනුව තේරී පත් වන ජනාධිපතිවරයෙකුට වසර හතර බැගින් දෙවරක් ජනාධිපති ධූරය දරන්න පුළුවන්. 1796 ජනාධිපති ක්‍රමය ආරම්භ කළාට පස්සෙ තේරී පත් වූ බොහෝ ජනාධිපතිවරු ගෙදර ගියේ එහෙම අවුරුදු අටම පුටුවේ ඉඳලයි. එහෙම නැතිව පළමුවන ධූර කාලය අවසානයේ තිබෙන මැතිවරණයෙන් පැරදිලා ගෙදර ගිය අය ඉන්නේ දහ දෙනයි.
අන්තිමටම එහෙම පැරදුණේ ලොකු බුෂ් හෙවත් ජෝර්ජ් H.W. බුෂ්. ඒ කියන්නෙ බින් ලාඩන් ඇමෙරිකාවට ගහන කොට හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගෙ තාත්තා. ලොකු බුෂ් මහත්තයා 1992 තිබුණ මැතිවරණයෙන් බිල් ක්ලින්ටන්ට පැරදුණා.
අවුරුදු 28කට පස්සෙ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ඒ වගේම අකරතැබ්බයක් වෙන්න යන්නේ. මැතිවරණය දූෂිත බව කියමින් ට්‍රම්ප් මහත්තයා ලොකු අඩව්වක් අල්ලල තියෙන වෙලාවක ඇමෙරිකානු තරුණියක් තමන්ගෙ Twitter ගිණුමේ දාපු ලියුම් කඩදහියක් නිසා මිනිස්සුන්ට ආයෙත් ලොකු බුෂ් මහත්තයා මතක් වෙලා.
මේ තරුණිය ඉතින් වෙනින් කවුරුවත් නෙවෙයි. ලොකු බුෂ්ගෙ මිනිබිරිය වන ජෙනා බුෂ් හේගර්. ඒ කියන්නෙ ජනාධිපති ජෝර්ජ් W.බුෂ්ගෙ දියණිය. ඒ කාලෙ චූටි කෙල්ල දැන් ලොකු ලේඛිකාවක්.
එදත් මේ තරමටම නැති වුණත් මැතිවරණයේදී බුෂ් – ක්ලින්ටන් ගැටුම තදටම තිබුණා. බුෂ් මහත්තයාට තිබුණ ලොකුම චෝදනාව තමයි ගල්ෆ් යුද්ධය ආරම්භ කිරීම. සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළාම බුෂ් ඇමෙරිකානු හමුදාව යවල කුවේටය නැවත නිදහස් කර ගත්තා. අහක තියෙන යුද්ධයකට හොම්බ දැම්මා කියලා ඒ වෙලාවෙ ක්ලින්ටන්ගෙ Democratic පක්ෂය බුෂ්ව පතුරු ඇරියා.
තම ආදරණීය මුත්තනුවන් ගැන ජෙනා බුෂ් මෙහෙම කියනවා.
“මැතිවරණය දා රෑ හුස්ටන් වල මහ ගෙදර අපි ඔක්කොම එකතු වෙලා ඡන්ද ප්‍රතිඵල ඇහුවා. ආච්චි,සීයා,තාත්තා අපි ඔක්කොම හිටියා. මම එතකොට හිටියෙ හතරෙ පන්තියේ. මුලින් කට්ටියම සතුටින් හිටියේ. පස්සෙ ආච්චි ඉදිකටුවක් ගන්න කියලා කාමරෙන් එළියට ගියා. මං හිතන්නෙ ඒ වෙනකොට සීය පරදින බව පැහැදිලි වෙලා තිබුණේ. ඔහු ගොඩක් මහන්සි වෙලා වැඩ කළා.ඔහු නිතරම හිතුවෙ භාරගත්ත වැඩේ අවසන් කරන්න ඕන කියලා.”
“ඒක පහසු රැයක් නෙවෙයි.”
ජෙනා සීයා ගැන මතකය තවදුරටත් අවදි කළා.
“ඔහු දැඩි ලෙස කම්පා වුණා. සීයාට ආදරය කරපු මුනුබුරන් විදියට අපිත් කම්පා වුණා. ඔහුට දෙවැනි වාරයක් නැති බව දැන ගත්තට පස්සෙ අපි නින්දට ගියා.”
ජෙනාගේ ආච්චි ඒ කියන්නෙ බාබරා බුෂ් ආර්යාව 2018 අප්‍රේල් මාසෙදි මියගියා.ඊට මාස 7කට පස්සෙ ජොර්ජ් H.W. ජනාධිපතිවරයාත් මියගියා.
1993 ජනවාරි 20 වෙනිදා බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීලා හිලරි නෝනත් එක්ක ධවල මන්දිරයේ පදිංචියට ආවා. ජෝර්ජ් බුෂ් යුවල අලුත් ජනාධිපතිට සුභ පතලා එදාම ධවල මන්දිරයෙන් යන්න ගියා. බුෂ් යුවල වැළඳ ගෙන සමු අරන් ක්ලින්ටන් මහත්තයා Oval Room නමින් හැඳින්වෙන ජනාධිපති නිල කාර්යාලයට හෙමින් හෙමින් ගමන් කළා. මේසය සම්පූර්ණයෙන් අස් කරලා එක කොළයක් විතරක් ඒක උඩ තිබුණා. ක්ලින්ටන් ඒක අරන් හෙමින් කියෙව්වා.
ධවල මන්දිරයේදී
1993 ජනවාරි 20
ආදරණීය බිල්,
මොහොතකට කළින් මේ කාර්යාලයට එන විට මට දැනුනේ මීට වසර හතරකට කළින් මට දැනුණු ආශ්චර්යය හා ගෞරවය මුසු හැගීමමයි. මම දන්නවා ඔබටත් එය එසේම දැනෙනු ඇති.
ඔබට මෙහි ඉතා ප්‍රීතියෙන් සිටීමට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරනවා. සමහර ජනාධිපතිවරුන් විස්තර කර ඇති තනිකමක් නම් මට කවදාවත් දැනුනේ නැහැ.
ඔබ ගැන කරන විවේචන සාධාරණ නොවන බව ඔබට සිතේවි. ඒවාත් එක්ක වඩාත් දුෂ්කර කාලයන් උදාවනු ඇති. මා උපදෙස් දීමට එතරම් හොඳ කෙනෙක් නොවෙයි. නමුත් විවේචකයින්ට ඔබව අධෛර්යමත් කිරීමට හෝ ඔබව කටයුතු වලින් බැහැර කිරීමට ඉඩ නොදෙන්න.
ඔබ මෙම සටහන කියවන විට ඔබයි අපේ ජනාධිපති. මම ඔබට සුබ පතනවා. ඔබේ පවුලටත් සුබ පතනවා.
දැන් ඔබේ සාර්ථකත්වය යනු අපේ රටේ සාර්ථකත්වයයි. මම ඔබ වෙනුවෙන් දැඩි ලෙස බැදී ඉනනවා.
ඔබට ජය!
ජෝර්ජ්
ජෙනාට අමතරව මේ ලියුම ගැන හිලරි ක්ලින්ටන් නෝනාත් පසුගිය දා සංවේදීව මතක් කළා. ඊට පස්සෙ කිල්න්ටන් යන දවසේ අලුත් ජනාධිපති ජෝර්ජ් W.බුෂ්ටත් ඒ වගේම ලියුමක් ලිව්වා.අවුරුදු 8 කට පස්සේ බුෂ් මහත්තයා ඔබාමාටත් ඔබාමාගෙන් පස්සෙ ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වශයෙන් දැන් ඒක ඇමෙරිකානු බලහුවමාරුවේ අත්හළ නොහැකි සංකේතයක් වෙලා ඉවරයි.ඒත් මේ සුන්දර සම්ප්‍රදාය පටන් ගත්තේ තමන්ගේ සීයා බව ජෙනා බුෂ් කියනවා.
2004 ශ්‍රී ලංකාවට සුනාමිය ආවම එවකට ඇමෙරිකාවෙ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් මහත්තයා තමන් වෙනුවෙන් අපේ රටට එවන්න පුළුවන් හොඳම නියෝජනයක් ගැන කල්පනා කළා. එහෙම දෙන්නෙක් වහාම ලංකාවට එව්වා. ඒ ඔහුට කළින් හිටපු ජනාධිපතිවරු දෙදෙනා වන ජෝර්ජ් H.W. බුෂ් හා බිල් ක්ලින්ටන්.
-ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
100%
3 Star
0%
2 Star
0%
1 Star
0%

7 thoughts on “බුෂ් මහත්තයාගේ ලියුම

Leave a Reply

Your email address will not be published.

Previous post අද කොවිඩ් මරණ 5ක් – මෙරට සමස්ථ කොවිඩ් මරණ 53 ක් වෙයි
Next post ඊයේ ආසාදිතයින් 468 ක් – මෙරට සමස්ත ආසාදිතයින් 12,695 යි