චයිනීස් විසයි පොම්පියෝ කියයි

Read Time:11 Minute, 18 Second
පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය විසි එක් වන සියවසේ නවතම සීතල යුද්ධයේ එක් පියවරක් පමණයි

ඇමෙරිකානු ජනාධිපතිවරණය කට ළඟම තියාගෙන රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ආසියාවේ තෝරාගත් රටවල් කිහිපයකට නෑදෑ ගමන් යෑම එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු බිම දැමීමට කරන සෙල්ලමක් කිව්වත් වැරැද්දක් නැහැ. “එක තීරයක් එක මාවතක්” Slogan එක යටතේ දකුණු චීන මුහුදෙන් පල්ලම් බැස හිමින් සැරේ තම වෙළෙඳ අධිරාජ්‍යය තුලට ලෝකය නතුකර ගැනීමට කැස කවන “චීන මකරාට” කොකා පෙන්වීමක් පොම්පියෝගේ සංචාරයෙන් පෙන්නුම් කරනවා. එසේම නැගී එන තම ප්‍රබල සතුරාට එරෙහිව සටන් කිරීමේදී තම නායකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් දුර්වලයකු ලෙස හංවඩු ගැසීමටත් පොම්පියෝගේ මේ සංචාරය උපයෝගී කර ගන්නවා.

ඉන්දියාවට ඇමෙරිකානු ප්‍රබලයාගේ සම්ප්‍රාප්තිය යම් මානසික අස්වැසිල්ලක්

මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණිමට පෙර ඉන්දියාවට පැමිණ තිබුණා. ජෝ බයිඩන්ගේ උප ජනාධිපති අපේක්ෂිකාව වන්නේ ඉන්දියානු සම්භවයක් ඇති කමලා හැරිස්. ඇමෙරිකාවේ වසන ඉන්දියානු සම්භවයක් ඇති ජනතාවගේ ඡන්ද පදනම ඩිමොක්‍රටික් අපේක්ෂකයාට ආකර්ෂණය වීම වැළැක්වීමත් රිපබ්ලිකන් රාජ්‍ය ලේකම් වරයාගේ සංචාරය තුළින් අපේක්ෂා කළා විය හැකියි. පොම්පියෝගේ සංචාරයේ ප්‍රධාන අරමුණ ඉන්දියානු සාගර කලාපය තුළ ප්‍රබලව වර්ධනය වන චීන ආර්ථික තීරයට එරෙහි වීම සදහා එකී රටවල ආණ්ඩු හා ජනතාව පෙළඹවීම බව පෙනී යනවා. ඔහු ගිය සෑම රටකදීම මේ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. චීනය සමග හිමාල කඳුවැටියේ දේශසීමා අර්බුදයක පැටලී සිටින ඉන්දියාවට ඇමෙරිකානු යෝධයාගේ සම්ප්‍රාප්තිය යම් මානසික අස්වැසිල්ලක් වනවාට සැකයක් නැහැ.

චීනයට වඩා හාත්පසින්ම වෙනස් අපේක්ෂාව මොකක්ද?

විශේෂයෙන් ඉන්දියානු සාගර කලාපයේ උපායමාර්ගික මර්ස්ථානය වූ ශ්‍රී ලංකාවත් ඒ ආසන්නයේ තිබෙන මාලදිවයින් දූපත් රාජ්‍යයත් චීනය විසින් කොල්ලකාරී ලෙස ණය උගුලේ සිරකර තම අණසකට යටත් කරගනු ඇති බව ඇමෙරිකානු නිලධාරීන් සැකයෙන් පසුවෙනවා. ඔවුන් චෝදනා කරන්නේ චීනයේ සංවර්ධන හා යටිතල පහසුකම් ව්‍යාපෘති අරමුණු කර ඇත්තේ කුඩා රටවල් ගොඩ දැමීමට නොවන බවයි. චීන්නු හැම විටම ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සිටින බවට පොම්පියෝ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය වරයාට මතක් කළ බවත් Hindustan Times පුවත් පත වාර්තා කරනවා.
ශ්‍රී ලංකාව පූර්ණ ස්වෛරීභාවය රඳවාගෙන සිටින තාක් කල් කලාපය තුළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා “පහන් කනුවක්” සේ වැජඹිය හැකි බව පොම්පියෝ කියා සිටියා.
“චීනයට වඩා හාත්පසින්ම වෙනස් අපේක්ෂාවක් අපේ තිබෙන්නේ. චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ විලෝපිකයෙක්.නමුත් අපි වෙනස්.අපි ආවේ මිතුරෙකු හා හවුල්කරුවෙක් ලෙස.”
රාජ්‍ය ලේකම් වරයා ශ්‍රී ලංකාවේදී පවසා සිටියා.
ශ්‍රී ලංකාව මේ චීන-ඇමෙරිකා ගැටුමට මැදිහත් වීමට අකමැති වූ බවත් සාමය සඳහා කැප වූ මධ්‍යස්ථ, නොබැඳි රටක් ලෙස සියළු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ බවත් Hindustan Times පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.

“අවශ්‍ය තීරණ ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනව” 

පොම්පියෝගේ කොළඹ ගමනට පෙරම දකුණු හා මධ්‍යම ආසියානු කලාපය භාර ඉහලම ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයා වන ඩීන් තොම්සන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. දිගුකාලීන සමෘද්ධිය සඳහාත් ආර්ථික සුරක්ෂිතභාවය උදෙසාත් දුෂ්කර නමුත් අවශ්‍ය තීරණ ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව තොම්සන් ප්‍රකාශ කළා. ඒ සඳහා ගැලපෙන සහකරුවන් සොයා ගැනීමට ලංකාවට සිදුවනු ඇති බවත් ඇමෙරිකාව විසින් ලබා දෙන අවස්ථාවන් පිළිබඳව සමාලෝචනය කිරීමට ශ්‍රී ලංකාව දිරිමත් කරන බවත් ඔහු කියා සිටියා.
ශ්‍රී ලංකාවට චීනය අතහැර ඇමෙරිකාව පැත්තේ සිට ගැනීමට පොම්පියෝ විසින් බලකෙරුණු ඇතැයි චීන රජය කළබල වී ඇති බවක්ද මේ අතරම දක්නට ලැබෙනවා. ඔවුන් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කර තිබෙනවා. වසර දෙදහසකට ආසන්න මිතුරු කම හසුරවා ගැනීමට චීනයට හා ශ්‍රී ලංකාවට නුවණ ඇති බවත් ඒ සඳහා තුන්වන පාර්ශවයක් අවශ්‍ය නොවන බවත් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කළේ ඒ අනුවයි.

ඇමෙරිකාව අපේක්ෂා කරන භූ දේශපාලන සැකැස්මට ආපු  “මාකටින් පාරක්” 

පොම්පියෝ කොළඹින් පසු මාල දිවයිනට පැමිණි අතර එහි එක්සත් ජනපද තානාපති කාර්යාලයක් පිහිටුවන බවත් පොරොන්දු වුණා. ඉන්දියාව, ශ්‍රී ලංකාව හා මාලදිවයින ඇතුළත් වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වරයාගේ සංචාරය විසි එක් වන සියවසේ ඇමෙරිකාව අපේක්ෂා කරන භූ දේශපාලන සැකැස්ම තීරණය කිරීමටම යොදා ගත් “මාකටින් පාරක්” බව බැලු බැල්මටම පෙනී යනවා.
මයික් පොම්පියෝ ඉන්දියාවට ගියේ ඇමෙරිකානු ආරක්ෂක ලේකම් වරයා වූ මාක් එස්පර් ද සමඟින්. ඉන්දු-පැසිෆික් කලාපයේ බීජීනයට එරෙහිව කලාපීය පෙරමුණක් ගොඩනැංවීමට සුදුසුම අවස්ථාව එළඹෙන තෙක් ඇමෙරිකාව බලාගෙන සිටි බව දැන් පෙනී යනවා. ඉන්දියාව සමඟ ඒකාබද්ධ යුධ අභ්‍යාස කිරීමට ඇමෙරිකාව නුදුරේදීම පැමිණෙන බවට ද වාර්තා වෙනවා.
යම් හෙයකින් ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් පත් වුවත් චීනය සම්බන්ධ ඇමෙරිකානු ප්‍රතිපත්ති වල වෙනසක් වන්නේ නැහැ. චීනය පිළිබඳව පමණක් නොවෙයි. ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තියේදී රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ දෙකම ඉන්නේ එකම තැනක. බදු ප්‍රතිපත්ති හා සංක්‍රමණිකයන් සම්බන්ධ ප්‍රතිපත්ති වලදී පමණක් ජෝ බයිඩන් වෙනස් ස්වරූපයක් ගනු ඇති.

බැරක් ඔබාමාගේ The Quad  සන්ධානය

කෙසේ නමුත් තවමත් ලෝක ආර්ථිකයෙන් හතරෙන් පංගුවකට හිමිකම් කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය. එහි චීනයේ කොටස සියයට 15යි. ලෝක ආර්ථිකයේ තවත් හතරෙන් එකක් යුරෝපා සංගමය විසින් දරා සිටිනවා. එසේම ආසියා- පැසිෆික් කලාපයට අයත් ජපානය හා ඔස්ට්‍රේලියාවද සැළකිය යුතු ප්‍රතිශතයක් දරනවා. අසල්වැසි ඉන්දියාව ද නැගී එන ආර්ථික බලවතෙකු ලෙස පෙනෙන්නට තිබෙනවා.
18 වන සියවසේ මධ්‍යධරණී මුහුද තමයි ලෝක ආර්ථිකයේ මර්මස්ථානය වුණේ. 19 වන සියවස වන විට එය අත්ලාන්තික් සාගරයට මාරුවුණා. 20 වැනි සියවස වන විට ලෝක ආර්ථිකය කේන්ද්‍රගත වී තිබුණේ පැසිෆික් හෙවත් ශාන්තිකර සාගරය වටායි. නමුත් 21 වැනි සියවස ඉන්දියානු සාගර යුගය බව තමයි කෆ්ලින් ආදී ඇමෙරිකානු විශ්ලේශකයන්ගේ මතය. මේ අදහස් අනුව මුලින්ම වැඩ ඇල්ලුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් නෙවෙයි. ඒ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා. ඒ අනුව ආසියා-ශාන්තිකර කලාපයේ ආර්ථික බලවතුන් වන ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සමඟ එකතු වී චීනයට එරෙහි පුළුල් සන්ධානයක් ගොඩ නැගීමට මුලින්ම ක්‍රියා කළේත් ඔබාමා. එකී සන්ධානය දැන් හැඳින්වෙන්නේ The Quad යනුවෙන්.මේ රටවල් හතරම චීනය සමඟ මේ වන විට එතරම් හිත හොඳින් නෙවෙයි පසුවන්නේ.
The Quad කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ හමුවක් පසුගියදා ජපානයේදී පැවැත්වුණා. දකුණු චීන මුහුදේ අයිතිය පිළිබඳව චීනය සමඟ ආරවුල් ඇති කර ගෙන ඇති ඉන්දුනීසියාව, වියට්නාමය හා මැලේසියාවත් The Quad කණ්ඩායමට සහායක රටවල් ලෙස ළං කර ගැනීමට මයික් පොම්පියෝ අදහස් කරන බවක් දක්නට ලැබෙනවා. චීනයේ බලපෑමට යටත්ව ඇති හොංකොං හා තායිවානය යන රටවල් වලත් ඇමෙරිකානු මැදිහත්වීම් මෑතක සිට වැඩි වී තිබෙනවා. චීනය විසින් තම ප්‍රාන්තයක් ලෙස සළකන තායිවානයට අවිආයුධ අලෙවි කිරීමටත් ඇමෙරිකාව පසුගියදා කටයුතු කළා.

සීතල යුද්ධයේ එක් පියවරක් පමණයි


මයික් පොම්පියෝ කියන්නෙත් එසේ මෙසේ බඩුවක් නෙවෙයි. ඔහු හිටපු හමුදා නිලධාරියෙක්. එසේම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වරයා ලෙස පත් වීමට පෙර ඔහු CIA සංවිධානයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළා. සාමාන්‍යයෙන් ඇමෙරිකානු ආරක්ෂක ප්‍රතිපත්තිය මෙහෙයවන සූක්ෂම හස්තය තමයි CIA සංවිධානය. ඒ නිසා මයික් පොම්පියෝ තම මව්රට වෙනුවෙන් කළ යුතු කාර්යභාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් වඩා අවබෝධ කරගෙන සිටින බවට සැකයක් නැහැ.
ඒ නිසා මයික් පොම්පියෝගේ ශ්‍රී ලංකා සංචාරය අපට යෝධ පිම්මක් වුණත් විසි එක් වන සියවසේ නවතම සීතල යුද්ධයේදීනම් එය එක් පියවරක් පමණයි.
ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
100%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

17 thoughts on “චයිනීස් විසයි පොම්පියෝ කියයි

Leave a Reply

Your email address will not be published.

Previous post හෙට (30) අනිද්දා (31) A/L සිසුන්ට විභාගයට යාමට බාධාවක් නෑ
Next post 20ට කතානායක අත්සන